August, 8, 2016
2015 වසරේ පළාත්බද දළ ජාතික නිෂ්පාදිත වාර්තාව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නොබෝදා එළිදක්වනු ලැබීය.
මෙම වාර්තාවට අනුව 2015 වසරේ ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය රුපියල් බිලියන 11,183 ක් ලෙසින් දැක්වේ. එහිදී එක් එක් පළාත වෙතින් මේ සඳහා ලැබුණු දායකත්වය වෙනවෙනම ගණනය කිරීමට මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. ඊට අනුව පිළිවෙලින් බස්නාහිර රු. බිලියන 4,611 ක්, වයඹ රු. බිලියන 1,224 ක්, දකුණ රු. බිලියන 1,160 ක් හා මධ්‍යම රු. බිලියන 1,152 ක් ඉහළම දායකත්වය ලබාදුන් පළාත් ලෙසින් වාර්තා වේ. සෙසු පළාත්වල දායකත්වය රුපියල් බිලියන දහසේ සීමාවෙන් මෙපිට නතර වී ඇත.

සමස්තයක් ලෙසින් ගත් කල, සමස්ත දළ ජාතික නිෂ්පාදිතයෙන් 41.2% කට හිමිකම් කියනු ලබන්නේ බස්නාහිර පළාත විසිනි. අඩුම දායකත්වය උතුරු පළාතින් වාර්තා වන අතර එය 3.5% කි.

ආංශික වර්ගීකරණය අනුව 2015 වසරේ දළ ජාතික නිෂ්පාදිතය වර්ග කළ විට 8.1% ක් කෘෂිකාර්මික අංශයෙන්, 28.5% ක් කාර්මික අංශයෙන් හා 56.3% ක් සේවා අංශයෙන් ලැබී ඇත. මේ පිළිබඳ සවිස්තරාත්මක සටහනක් පහත දැක්වේ.

ඒක පුද්ගල ආදායම පළාත් මට්ටමින් සලකා බැලූ කල, බස්නාහිර පළාතේ එම අගය 1.4 ගුණයකි. සෙසු සෑම පළාතකම ඒක පුද්ගල ආදායම් මට්ටම පවතින්නේ අදාළ අගයයට වඩා පහළ මට්ටමකිනි.
