ආයෝජනයට හිතකර පරිසරයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇතැයි අමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කරයි

    August, 15, 2016

    ආයෝජනය සඳහා හිතකර පරිසරයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇතැයි අමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කරයි. ආර්ථික සහ ව්‍යාපාරික කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් චාල්ස් එච්. රිව්කිං (CharlesH.Rivkin) මහතා පසුගිය (12) දා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමු වී මේ බව ප්‍රකාශ කළේ ය. මුදල් අමාත්‍යාංශයේ දී මෙම හමුව පැවැත්විණි.

    ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කළ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා, රට තුළ ආයෝජනයට හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බව සඳහන් කළේ ය. එබැවින්, අමෙරිකාවේ ඉහළ පෙළ ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කෙරෙහි යොමු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව හෙතෙම අවධාරණය කළේ ය. වත්මන් රජය බලයට පත් වීමෙන් පසු රට තුළ සිදු ව ඇති ආර්ථික වෙනස්කම්, ශ්‍රී ලංකාව හමුවේ ඇති ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා මනා ප්‍රවේශයක් බව ද චාල්ස් රිව්කිං මහතා ප්‍රකාශ කළේ ය.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහි දී කියා සිටියේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අධික ණය බරතාව ජනතාව මත පැටවීම වෙනුවට විදේශ ආයෝජන තුළින් ඊට විසඳුම් සෙවීම රජයේ අපේක්ෂාව වන බවයි. නව රජය බලයට පත් අවස්ථාවේ සිට විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියා පිළිවෙත හේතුවෙන්, අද වන විට විදෙස් රටවල් ශ්‍රී ලංකාව කෙරෙහි උනන්දුවක් දක්වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම සාකච්ඡාව ද, එහි ප්‍රතිඵලයක් බවයි රවී කරුණානායක මහතා කියා සිටියේ.

    ඉදිරියේ දී ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග ඇති කරගන්නා, ගිවිසුම් තුළින් මෙම ආයෝජන අවස්ථාවන් තව දුරටත් පුළුල් වනු ඇතැයි ද පෙන්වා දුන් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ එමගින් රැකියා අවස්ථා ද නිර්මාණය වන බවයි. එසේ ම අපනයනය පුළුල් වීම ඇතුළු කරුණු හේතුවෙන්
    ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන පරිසරය සුරක්ෂිත වනු ඇති බවට ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ ය.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කෙෂාප් මැතිතුමා ද එක්ව සිටියේ ය.