ශ්‍රී ලංකාවේ ‘NetZero’ ඉලක්ක සපුරාලීම උදෙසා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සහ ගෝලීය හවුල්කරුවන් එක්ව ‘ENSURE’ ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කරයි

    January, 13, 2026

    ශ්‍රී ලංකාවේ තිරසාර සහ ශක්තිමත් අනාගතයක් වෙනුවෙන් ශුද්ධ ශුන්‍ය විමෝචන (Net Zero emissions) කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගත් යුරෝපීය සංගමයේ ඉරැස්මස්+ අරමුදල් මගින් සම-මූල්‍යකරණය කරන ලද ‘ENSURE’ (Empowering Net Zero Skills for Sri Lanka’s Sustainable and Resilient Future) ව්‍යාපෘතිය පසුගියදා බත්තරමුල්ල Waters Edge හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස ආරම්භ විය. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ප්‍රමුඛ මෙරට සහ ජාත්‍යන්තර හවුල්කාර ආයතන රැසක සහභාගීත්වයෙන් මෙම ජාතික මට්ටමේ වැඩසටහන දියත් කෙරිණි.

    මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යාපනය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, රුහුණ විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා බලශක්ති කළමනාකරුවන්ගේ සංගමය (SLEMA) සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) එක්ව සිටියහ. තවද, ඉතාලියේ Politecnico di Torino, අයර්ලන්තයේ University of Galway, රුමේනියාවේ Universitatea Valahia Târgoviște, ජර්මනියේ Hochschule Trier සහ පෝලන්තයේ Politechnika Warszawska යන යුරෝපීය විශ්වවිද්‍යාල පහක දායකත්වය මෙම ව්‍යාපෘතියට හිමි විය. මෙම ජාත්‍යන්තර සබඳතාව හරහා ගෝලීය විශේෂඥ දැනුම සහ අත්දැකීම් ශ්‍රී ලංකාවේ තිරසාර ඉලක්ක සපුරා ගැනීම සඳහා උපයෝගී කර ගැනීමට අපේක්ෂිතය.

    ශ්‍රී ලංකාවේ වේගවත් තිරසාර අභිමතාර්ථ හඳුනා ගනිමින්, අඩු කාබන් ආර්ථිකයක් කරා යන ගමනේදී අවශ්‍ය වන දක්ෂ තාක්ෂණික ශ්‍රම බලකාය නිර්මාණය කිරීම ‘ENSURE’ ව්‍යාපෘතියේ මූලික අරමුණයි. දේශීය හැකියාවන් සහ ජාත්‍යන්තර විශිෂ්ටතම භාවිතයන් මුසු කරමින්, මෙරට උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු පද්ධතිය තුළ දිගුකාලීන වෙනසක් ඇති කිරීමට මෙම හවුල්කාරිත්වය සැලසුම් කර ඇත.

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ ආචාර්ය කුමාර ජයවික්‍රම මහතාගේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා යුරෝපා සංගමයේ Erasmus+ වැඩසටහන යටතේ යුරෝ 761,300 ක ප්‍රතිපාදන වෙන් කර ඇත. 2025 දෙසැම්බර් මස සිට වසර දෙකක කාලයක් පුරා ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, 2021-2024 කාලසීමාවේ ක්‍රියාත්මක වූ ‘THREE-LANKA’ ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත පදනම්ව ගොඩනැගී ඇත. එහි ප්‍රධාන ඉලක්කය වන්නේ 2050 වසර වන විට ශ්‍රී ලංකාව ශුද්ධ ශුන්‍ය (Net Zero) විමෝචන මට්ටමකට ගෙන ඒම සඳහා අවශ්‍ය විෂය මාලා සහ පුහුණු පරිසරයන් ශක්තිමත් කිරීමයි.

    මෙම ව්‍යාපෘතිය යටතේ නම්‍යශීලී ඉගෙනුම් අවස්ථා සහිත පශ්චාත් උපාධි පාඨමාලා හඳුන්වා දීමට නියමිත අතර, ‘THREE-LANKA’ ව්‍යාපෘතිය යටතේ ස්ථාපිත කළ පුහුණු මධ්‍යස්ථාන (Renewable Technology Training Hubs) පහ තවදුරටත් නවීකරණය කරනු ලබයි. එහිදී කාබන් ග්‍රහණය, හයිඩ්‍රජන් බලශක්තිය, ස්මාර්ට් විදුලි බල පද්ධති සහ චක්‍රීය ආර්ථිකය වැනි නවීන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ.

    ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව මෙම වැඩසටහන් සකස් කෙරෙන අතර, European Green Deal සහ COP29 සම්මුතියේ ප්‍රතිඵල සමඟ ද මේවා සමපාත වනු ඇත. කර්මාන්ත ක්ෂේත්‍රය, අධ්‍යයන අංශ සහ රජය අතර සබඳතාව ශක්තිමත් කරමින් පර්යේෂණ සහ නවෝත්පාදන හරහා රැකියා නියුක්තිය ඉහළ නැංවීම මෙහි තවත් අරමුණකි. මෙම ව්‍යාපෘති කාලය තුළ පුද්ගලයින් 1,000කට පුහුණුව ලබා දීමට සහ සිසුන් 300ක් පශ්චාත් උපාධි පාඨමාලා සඳහා බඳවා ගැනීමට අපේක්ෂා කෙරේ.

    මෙම සුවිශේෂී වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් ව්‍යාපෘති සම්බන්ධීකාරක ආචාර්ය කුමාර ජයවික්‍රම මහතා මෙසේ පැවසීය. "ශ්‍රී ලංකාවේ Net Zero අභිලාෂයන් සපුරා ගැනීමට නම්, ඊට සමාන්තරව කුසලතා සහ හැකියාවන් වර්ධනය කිරීම සඳහා ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය වේ. ‘ENSURE’ ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු මාවත ශක්තිමත් කරමින්, ජාතික ප්‍රමුඛතාවන්ට සහ කර්මාන්ත අවශ්‍යතාවලට ගැළපෙන ප්‍රායෝගික හා අනාගතයට ගැළපෙන දැනුමක් සිසුන්ට ලබා දීම සඳහායි."

    විධිමත් අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව තුළට Net Zero තාක්ෂණයන් ඇතුළත් කිරීම හරහා, ශ්‍රී ලංකාව මුහුණ දෙන පාරිසරික අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි, අනාගතයට සූදානම් ශ්‍රම බලකායක් බිහි කිරීමට මෙමගින් අවස්ථාව සැලසේ. මෙය ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයට මෙන්ම ගෝලීය පාරිසරික ඉලක්ක සපුරා ගැනීමට ද හැකියාව ලබා දෙන මහඟු අවස්ථාවකි.

    Video Story

    Stock Market

    Exchange Rates