2025 දී සෘජු විදෙස් ආයෝජන ඩොලර් බිලියනය ඉක්මවයි – ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

    January, 23, 2026

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI), ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණයෙහි ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2025 දී  ඩොලර් බිලියන 1 ක විදේශ සෘජු ආයෝජන (FDI) ඉක්මවා යමින් එහි තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යක් වෙත පැමිණ ඇත.

    2024 වසරට සාපේක්ෂව 72% ක වැඩිවීමක් නියෝජනය කරමින් 2025 වසර සඳහා  සෘජු විදේශ ආයෝජන ගලා ඒම ඇ.ඩො. මිලියන 1,057 ලෙස වාර්තා වේ. මෙම ප්‍රගතිය, ආර්ථික ස්ථාවරත්වය, පැහැදිලි ප්‍රතිපත්ති දිශානතිය සහ වැඩිදියුණු කළ ආයෝජන පහසු කිරීමේ ක්‍රියාවලිය මගින් ශ්‍රී ලංකාව කෙරෙහි ගෝලීය ආයෝජකයින්ගේ විශ්වාසය අලුත් වී ඇති බව පිළිබිඹු කරයි.

    සමස්තයක් වශයෙන්, සමාගම් 188 ක්, 2025 වසර තුළ සෘජු විදේශ ආයෝජන ගලා ඒම සඳහා දායකත්වය ලබා දුන් අතර, ඉන් 24 ක් එම වසර තුළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම් අත්සන් කළ නව ආයෝජන ව්‍යාපෘතින් වේ. මෙම නව ව්‍යාපෘති මගින් ඇ.ඩො. මිලියන 134 ක දායකත්වයක් ලබා දී ඇති අතර, එය වසර සඳහා වන මුළු සෘජු විදේශ ආයෝජන ගලා ඒමෙන්  13% ක් වේ. සමාන්‍යයෙන්, නව ආයෝජන වලින් ලැබෙන සෘජු විදේශ ආයෝජන  මුලු සෘජු විදේශ ආයෝජන ලැබීම් වලින් 2% - 10% ක ප්‍රමාණයක් වන අතර, මෙම වසරේදී එය 13% දක්වා වර්ධනයක් පෙන්වීම විශේෂත්වයකි. ඉතිරි ඇ.ඩො. මිලියන 923 ක සෘජු විදේශ ආයෝජන ගලා ආවේ දැනට පවතින ආයෝජකයින්ගේ ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ව්‍යාප්ත කිරීම සඳහා සිදු කරනු ලබූ ආයෝජන වලිනි.

    නව ආයෝජන ආකර්ශනය කර ගැනීම ආයෝජකයින්ගේ විශ්වාසය වැඩිවීමේ දර්ශකයකි.  පළමු-වරට ආයෝජනය කිරීම සාමාන්‍යයෙන් ඉහළ අවදානමක් සහ දිගු කාලීන පැවත්ම සඳහා වූ අපේක්ෂාවක් සහිතව සිදුකරන්නකි. 2025 වසර තුල නව ආයෝජකයින්ගේ සාර්ථක ප්‍රවේශය ආයෝජන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව නැවත ලබා ගත් විශ්වසනීයත්වය පෙන්නුම් කරයි. ඒ අතරම, දැනට ක්‍රියාකාරීව පවතින ආයෝජකයින් විසින් ආයෝජනය සඳහා මුදල් රට තුලට ගෙන ඒම සහ ලාභය  නැවත ආයෝජනය කිරීම හරහා අඛණ්ඩව ඒවා පවත්වාගෙන යාම සහ පුළුල් කිරීමේ ව්‍යපෘති සඳහා ආයෝජනය කිරීම, පවතින ආයෝජකයින් අතර ගොඩනැගුනු තිරසාර විශ්වාසයත්, වර්ධනය වන ආයෝජන පරිසරයක ධනාත්මක සහ අපේක්ෂිත ප්‍රවණතාවයත් පිළිබිඹු කරයි.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමත සමාගම් වලින් ලබා ගන්නා ලද, යාවත්කාලීන කරන ලද දත්ත වලට අනුව, ඇ.ඩො. මිලියන 1,057 ක සෘජු විදේශ ආයෝජන, ඇ.ඩො. මිලියන 167 කොටස් ප්‍රාග්ධනය,  ඇ.ඩො. මිලියන 213 ප්‍රති- ආයෝජන, ඇ.ඩො. මිලියන 567 අන්තර්-සමාගම් ණය සහ ඇ.ඩො. මිලියන 110 ආයෝජන සඳහා ලබාගත් වාණිජමය ණය වලින් සමන්විත වේ.

    මුළු සෘජු විදේශ ආයෝජන ගලා ඒමෙන් 46% ක් නිශ්පාදන අංශයෙන් ද, 26%ක්  වරාය සංවර්ධන අංශයෙන් ද 11% සංචාරක අංශයෙන්ද් විය. සිංගප්පූරුව, ඉන්දියාව, ප්‍රංශය, නෙදර්ලන්තය සහ ලක්සම්බර්ග්, 2025 වසරේදී සෘජු විදේශ ආයෝජන ලැබුනු ප්‍රධාන රටවල් පහ බවට පත්ව ඇත.

    මීට අමතරව, 2025 වසර තුළදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ආයෝජන ව්‍යාපෘති 146 ක් අනුමත කර ඇති අතර එහි මුළු ආයෝජන වටිනාකම ඇ.ඩො. මිලියන 1,906 කි. මෙයට නව ව්‍යාපෘති 70ක් සහ ව්‍යාපෘති පුළුල් කිරීම් 76ක් ඇතුළත් වේ. අනුමත කරන ලද මුළු ආයෝජනවලින් ඇ.ඩො. මිලියන 896 ක් විදේශ ප්‍රාග්ධනය ලෙස ගලා එනු ඇතැයි අපේක්ෂා කරන අතර එය 2026 වසර සඳහා ඉලක්ක ගත ඇ.ඩො බිලියන 1.5 ක සෘජු විදේශ ආයෝජන ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ශක්තිමත් පදනමක් සපයයි.

    ව්‍යාපෘති ප්‍රගතිය අඛණ්ඩව අධීක්ෂණය කිරීම, ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ රේඛීය ආයතන සහ නියාමන ආයතන සමඟ සමීප සම්බන්ධීකරණය ඇතුළුව පසුගිය වසර තුළ ස්ථාපිත ශක්තිමත් ආයතනික පදනම මෙම සාර්ථකත්වයට හේතු වූ බව  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරයි. මෙම පියවරයන් ආයෝජන මණ්ඩලයේ තුළ පමණක් නොව පුළුල් ආයෝජන පරිසර පද්ධතිය හරහා ආයෝජක විශ්වාසය ශක්තිමත් කිරීමට හේතු වී ඇත.

    2025 වසර තුල පෙන්වූ ප්‍රගතිය මත, ආයෝජන මණ්ඩලය ආයතනික පරිවර්තනයේ කේන්ද්‍රීය මාවතකට අවතීර්ණ වී ඇත. මෙම ගමනේ ප්‍රධානතම මුලපිරීමක් වන්නේ ආයතනික හැකියාව ශක්තිමත් කිරීම, ආයෝජකයින්ට පහසුකම් සැලසීමේ සේවා වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගෝලීය වශයෙන් තරඟකාරී සහ ආයෝජක හිතකාමී නියෝජිතායතනයක් ලෙස ස්ථානගත කිරීම ඉලක්ක කරගත් දෙවසරක ක්‍රියාකාරී සැලැස්මක් මඟින් පැහැදිලි උපාය මාර්ගයක් සහ මාර්ග සිතියමක් සකසන BOI Accelerate වැඩසටහන දියත් කිරීමයි.

    ආයෝජන මණ්ඩලයේ ආයෝජන පහසුකම් සැපයීමේ කාර්යභාරය වැඩිදියුණු කිරීම සඳහා විශේශිත වූ තවත් මුලපිරීම් කිහිපයක් ද සිදු කර ඇත. ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමග සහයෝගීතාවයෙන් ආයෝජන               ප්‍රවර්ධනය, ආයෝජන ව්‍යාපෘති ඇගයීම සහ ඉඩම් වෙන්කිරීම් පිළිබඳ  පුළුල් ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සකස් කරන ලද අතර ඒවා ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    ආයතනය තුළ මානව සම්පත් සංවර්ධනයේ වැදගත්කම හඳුනා ගනිමින්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් 2025 දී විවිධාංගීකරණය වූ නිපුණතා සහිත කළමනාකරණ අභ්‍යාසලාභීන් බඳවා ගන්නා ලද අතර, තීරණාත්මක පුරප්පාඩු වූ සේවක තනතුරු පිරවීම සඳහා අවශ්‍ය අනුමැතිය ද ලබා ගන්නා ලදි.  තවද, කලමණාකාරීත්වය සවිබල ගැන්වීම සමඟ තිරසාර පුහුණු කිරීමේ ක්‍රියාවලියක් තුලින් මානව සම්පත සංවර්ධනය සඳහා ද කටයුතු කරන ලදි.

    ව්‍යුහගත සහ ඉහළ බලපෑමක් ඇති කරන ආයෝජන කෙරෙහි අවධානය යොමු කරමින්, BOI විසින් ව්‍යුහගත ආයෝජන අවස්ථා” හඳුනා ගැනීම, සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා නව මුලපිරීමක් ද දියත් කරන ලදී. මෙම මුලපිරීම යටතේ, තිරසාර සහ උසස් තත්ත්වයේ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ඉලක්කගත සහ ශක්තිමත් ප්‍රවර්ධන වැඩපිලිවලක සහාය ඇතිව පළමු අදියරේදී ව්‍යුහගත ව්‍යාාපෘති 20ක් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වේ..

    2026 දෙස බලන විට,  සැලකිය යුතු ආයෝජන ව්‍යාපෘති කිහිපයක් සමඟ ගිවිසුම් ගත වීමට සැලසුම් කර ඇති අතර, ඉදිරි මාස කිහිපය තුළ මෙම ව්‍යාපෘති සමඟ ගිවිසුම් අත්සන් කිරීමට ආයෝජන මණ්ඩලය අපේක්ෂා කරයි.

    ශ්‍රී ලංකාවේ ආර්ථිකමය, දේශපාලනිකව හා සමාජමය වශයෙන් සිදුවන ප්‍රගතිය හා සමගාමීව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නව ආයෝජකයින් ආකර්ශනය කර ගැනීමට දැඩි ලෙස කැපවී සිටින අතරම පවතින ආයෝජකයන්ගේ ව්‍යාපෘතීන් පුළුල් කිරීම් සඳහා ද නිරතුරුව සහය වෙමින්, තිරසාර, සහ දිගුකාලීන ආර්ථික වර්ධනයක්  වෙනුවෙන් සිය දායකත්වය දක්වයි.