කාන්තා ව්‍යවසායකත්වයේ විශිෂ්ටත්වය බලගන්වන ‘WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායිකා සම්මාන 2025’ සඳහා DFCC ආලෝකා නිල බැංකු සහකරු ලෙස එක්වෙයි

    January, 27, 2026

    කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු 'WCIC ප්‍රතිභාභිෂේක - කාන්තා ව්‍යවසායිකා සම්මාන 2025' උළෙලේ නිල බැංකු සහකරු ලෙස කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) සමඟ අත්වැල් බැඳගනිමින්, DFCC බැංකුවේ 'DFCC ආලෝකා' කාන්තා බැංකුකරණ ඒකකය මෙරට කාන්තා ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීමේ සිය දීර්ඝකාලීන කැපවීම නැවතත් තහවුරු කරන ලදී. ශ්‍රී ලංකාව සහ සාර්ක් (SAARC) කලාපය පුරා නවෝත්පාදනය, රැකියා උත්පාදනය සහ ආර්ථික වර්ධනය සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙන ව්‍යවසායිකාවන් ඇගයීම සඳහා වූ ප්‍රධානතම වේදිකාවක් වන ප්‍රතිභාභිෂේක සම්මාන උළෙල සඳහා DFCC ආලෝකා අඛණ්ඩව අනුග්‍රහය දැක්වූ සිව්වන වසර මෙයයි.

    කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මගින් ඔරොත්තු දීමේ හැකියාව, නායකත්වය සහ මැනිය හැකි ව්‍යාපාරික බලපෑමක් පෙන්නුම් කරන කාන්තා ව්‍යවසායකත්වයන් ඇගයීමට ලක් කරන අතර, එමගින් තවත් කාන්තාවන් ව්‍යවසායකත්වයට යොමු කිරීමටත් රටේ සමස්ත ව්‍යවසායක පද්ධතිය ශක්තිමත් කිරීමටත් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. එහි නිල බැංකු සහකරු ලෙස කටයුතු කරමින් DFCC බැංකුව, කාන්තා ව්‍යවසායිකාවන්ගේ සැබෑ අවශ්‍යතා හඳුනාගෙන නිර්මාණය කළ DFCC ආලෝකා හරහා ඔවුන්ගේ ආර්ථික සහභාගීත්වය තහවුරු කිරීමට කැපවී සිටින අතර, විශේෂිත මූල්‍ය විසඳුම්, උපදේශන සේවා සහ දිගුකාලීන හවුල්කාරිත්වය මගින් කාන්තා ව්‍යාපාර විශ්වාසයෙන් යුතුව ආරම්භ කිරීමටත්, පවත්වාගෙන යාමටත්, වර්ධනය කිරීමටත් අවශ්‍ය සහාය ලබා දෙයි.

    මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ, කාන්තා ව්‍යවසායිකාවන් හමුවේ ඇති බාධක ඉවත් කර ඔවුන්ට තිරසාර ව්‍යාපාර ගොඩනැගීමට ප්‍රායෝගික මංපෙත් විවර කිරීමේ පැහැදිලි අරමුණින් DFCC ආලෝකා නිර්මාණය කළ බවත්, WCIC සහ ප්‍රතිභාභිෂේක සම්මාන උළෙල සමඟ පවත්වන මෙම අඛණ්ඩ සබඳතාවය මගින් නායකත්වය සහ නවෝත්පාදනය හරහා ආර්ථික ප්‍රගතියට දායක වන කාන්තාවන් දිරිමත් කිරීමට බැංකුව තුළ ඇති කැපවීම පිළිබිඹු වන බවත්ය. කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපතිනී ගයනි ද අල්විස් මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ, විවිධ අභියෝග මධ්‍යයේ සාර්ථක ව්‍යාපාර ගොඩනගන කාන්තාවන් ඇගයීමට ලක්කරන මෙම වේදිකාවට, DFCC ආලෝකා සමඟ ඇති හවුල්කාරිත්වය මගින් ව්‍යවසායිකාවන්ගේ අභිලාෂයන්ට ගැලපෙන මූල්‍ය විසඳුම් ද එක්කිරීම තුළින් වඩාත් ප්‍රබල ශක්තියක් ලැබෙන බවයි.

    DFCC බැංකුව DFCC ආලෝකා හරහා කාන්තා ව්‍යාපාර සඳහා ඉලක්කගත මූල්‍ය ආධාර සහ අගය එකතු කළ සේවාවන් අඛණ්ඩව සපයමින්, සැමට ප්‍රතිලාභ ලැබෙන ආර්ථික වර්ධනයක් සඳහා අවශ්‍ය හිතකර පරිසරයක් ගොඩනැගීමට සිය දායකත්වය ලබා දෙයි. WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායක සම්මාන 2025 මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතය හැඩගැස්වීමේදී කාන්තා ව්‍යවසායිකාවන් ඉටු කරන වැදගත් කාර්යභාරය නැවතත් අවධාරණය කළ අතර, ප්‍රායෝගික සහ සියල්ලන් ඇතුළත් කරගත් මූල්‍ය විසඳුම් මගින් කාන්තා ව්‍යවසායකත්වය ඉදිරියට ගෙන යාමට කැපවුණු බැංකු සහකරු ලෙස DFCC ආලෝකා සතු ස්ථානයද මෙහිදී තවදුරටත් තහවුරු විය.

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය, ආචාර්ය ගරු හරිනි අමරසූරිය මැතිණිය විසින්, 2025 වසරේ විශිෂ්ටතම ව්‍යවසායිකාව ලෙස ඇගයීමට ලක්වූ Worldlink Shipping Colombo (Pvt) Ltd හි නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂිකා වේරා වික්‍රමසිංහ මහත්මිය වෙත 2025 වසරේ සාර්ක් (SAARC) කලාපීය ව්‍යවසායිකාව සම්මානය පිරිනමන අවස්ථාව. DFCC බැංකුවේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා, DFCC බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ෂමීන්ද්‍ර මර්සලින් මහතා සහ කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද ඡායාරූපයේ වෙති.