January, 29, 2026
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ (EFF) පස්වන සමාලෝචනය අත්හිටුවීමක් කර නොමැති බවත්, දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ බලපෑමෙන් පසු මෙරට ආර්ථිකය නැවත තක්සේරු කිරීමට ඉඩ සැලසීම සඳහා එය කල් දැමීමක් පමණක් කර ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පපාජෝ(ර්)ජියෝ මහතා දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදු වූ බලපෑම සාකච්ඡා කිරීම සඳහා මෙරට සිදු කළ සංචාරය අවසානයේ ඊයේ (28) මේ බව පවසා සිටියේ ය.
දිට්වා සුළි කුණාටුවේ ආර්ථික බලපෑම තක්සේරු කිරීම, මූල්‍ය හා මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් බලධාරීන්ගේ ප්‍රතිපත්තිමය අභිප්රායන් අවබෝධ කර ගැනීම සහ IMF සහාය දක්වන වැඩසටහන මතුවන අවිනිශ්චිතතාවයන්ට ඉඩ සලසන ආකාරය පරීක්ෂා කිරීම කෙරෙහි මෙම සාකච්ඡා අතරතුර අවධානය යොමු කළ බව ඔහු පැවසීය.
තව ද ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ මූලික ව්‍යුහය නොවෙනස්ව පවතින බව ඔහු සඳහන් කළ අතර, දිට්වා සුළි කුණාටුවට පෙර එම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත්ව පැවති බව ද අවධාරණය කර සිටියේ ය.
කෙසේ වෙතත් ඔහු පැවසුවේ, සුළි කුණාටුව ඇතැම් ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායකයන්ට බලපාන අතිරේක අවිනිශ්චිතතා නිර්මාණය කර ඇති බව පිළිගත යුතු බවයි. එම නිසා ඉදිරි සාකච්ඡාවලදී ඉදිරි ඉලක්ක සඳහා වන ඕනෑම විභව ගැළපීමක් බලධාරීන් සමඟ සාකච්ඡා කළ යුතු බවත්, ඉදිරි සති කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බවත් එවන් පපාජෝ(ර්)ජියෝ මහතා පවසා සිටියේ ය.
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ මීළඟ විධිමත් සන්ධිස්ථානය පස්වන සමාලෝචනය බව ඔහු තවදුරටත් තහවුරු කළ අතර, අනාගත සමාලෝචන ඒකාබද්ධ කිරීමේ හැකියාව සාකච්ඡා කළ යුතු කරුණක් බව ද පවසා සිටියේ ය.
Video Story