ශ්‍රී ලංකාව සංචාරක ආර්ථිකය විධිමත් කිරීම පිළිබඳ පළමු ජාතික සංවාදය දියත් කරයි

    January, 29, 2026

    සංචාරක ආර්ථික කාන්දුවීම් පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු ජාතික සංවාදය අද ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ; ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

    එක්සත් ජාතීන්ගේ සංචාරක ව්‍යාපාරය සමඟ සහයෝගයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව සහ සාකච්ඡාව තත්ත්ව විනිශ්චය කිරීමේ සිට ක්‍රියාත්මක කිරීම දක්වා උපායමාර්ගික පරිවර්තනයක ඇරඹීම සනිටුහන් කරන්නකි.

    සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ විශාලතම විදේශ විනිමය ප්‍රභවයක් වන අතර මෑත කාලීන තක්සේරුවකින් හෙළි වූයේ මෙම වටිනාකමෙන් සැලකිය යුතු කොටසක් බාහිර, අභ්‍යන්තර සහ නොපෙනෙන කාන්දුවීම් හරහා අහිමි වන බවයි. මේවාට අක්වෙරළ කොමිස්, ආනයන මත යැපීම, ඛණ්ඩනය වූ සැපයුම් දාම සහ අවිධිමත්භාවය හේතු වී තිබිණි. සංචාරක ව්‍යාපාරයේ ප්‍රතිලාභ දේශීය ආර්ථිකය තුළ පවත්වාගනිමින් අපගේ ප්‍රජාවන් වෙත ළඟා වීමට නම් මෙම අභියෝගවලට මුහුණ දීම අත්‍යවශ්‍ය වේ.

    මෙම වැඩමුළුව රජයේ නිලධාරීන්, කර්මාන්ත නායකයින් සහ විශේෂඥයින් ප්‍රමුඛතා ක්ෂේත්‍ර තුනක් හරහා සංවාදයට ලක්කල අතර විධිමත් කිරීම සහ ඩිජිටල්කරණය, දේශීය වටිනාකම් දාම ශක්තිමත් කිරීම සහ කුසලතා සංවර්ධනය සමඟ තිරසාරභාවය එහිදී අවධානයට ගැනිණ. එමෙන්ම කෙටි හා මධ්‍ය කාලීනව යථාර්ථවාදීව සාක්ෂාත් කරගත හැකි අරමුණු සහ තුන් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් ගොඩනගා ගත හැකි ආකාරය කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු විය.