February, 2, 2026
PFEC Global ආයතනය සංවිධානය කළ "World Study Fair 2026" අධ්‍යාපන ප්‍රදර්ශනය 2026 ජනවාරි 31 වන දින කොළඹ ගාලදාරී හෝටලයේදී අතිසාර්ථක අන්දමින් නිමාවට පත් විය. විදේශ අධ්‍යාපන අවස්ථා පිළිබඳ මඟපෙන්වීම් අපේක්ෂාවෙන් පැමිණි සිසුන්, දෙමාපියන් සහ වෘත්තිකයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය. දෙවන වරටත් සංවිධානය කෙරුණු මෙම ප්‍රදර්ශනය, ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරන ප්‍රමුඛතම අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය.
ගාලදාරී හෝටලයේ Grand Ballroom පරිශ්‍රයේදී පෙ.ව. 11.00 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය සඳහා ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, කැනඩාව, නවසීලන්තය, යුරෝපය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරමින් අධ්‍යාපන ආයතන රැසක් එක්ව සිටියහ. විදේශ අධ්‍යාපනය පිළිබඳ මෙරට පුරවැසියන්ට නිවැරදි තීරණ ගැනීමට සහය වීම සඳහා මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණි. එසේම ප්‍රථම උපාධි, පශ්චාත් උපාධි, වෘත්තීය සුදුසුකම් සඳහා පවතින අවස්ථා මෙන්ම ප්‍රවේශ අවශ්‍යතා, ශිෂ්‍යත්ව සහ පශ්චාත් අධ්‍යයන රැකියා අවස්ථා පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට ද මෙහිදී සහභාගී වූවන්ට අවස්ථාව උදාවිය.
2006 වසරේදී ආරම්භ කරන ලද ජාත්‍යන්තර අධ්‍යාපන උපදේශන ආයතනයක් වන PFEC Global, විනිවිදභාවයකින් යුතු මඟපෙන්වීම් හරහා ගෝලීය අධ්‍යාපන අවස්ථා සඳහා ප්‍රවේශය පුළුල් කිරීමට නිරන්තරයෙන් කැපවී සිටියි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මූලස්ථානය පිහිටි මෙම ආයතනය, කොළඹ, සිඩ්නි, ඇඩිලේඩ්, පර්ත්, ඩකා, චැටග්‍රෑම්, අහමදාබාද් සහ කොල්කටා ඇතුළුව ඕස්ට්‍රේලියාව සහ දකුණු ආසියාව පුරා විසිරුණු ශාඛා 11ක් හරහා සිය මෙහෙයුම් කටයුතු සිදු කරයි. ලොව පුරා හවුල්කාර අධ්‍යාපන ආයතන 550කට අධික සංඛ්‍යාවක් සමඟ PFEC Global ආයතනය කටයුතු කරන අතර මේ වන විට සිසුන් 22,000කට අධික පිරිසකට ජාත්‍යන්තර අධ්‍යාපනය ලබාගැනීම සඳහා සහාය වී ඇත.
මෙම වසරේ පැවති World Study Fair 2026 හි විශේෂත්වය වූයේ සහභාගී වූවන්ට විශ්වවිද්‍යාල නියෝජිතයන් සමඟ සෘජුවම සාකච්ඡා කිරීමටත්, නොමිලේ සුදුසුකම් ඇගයීම් (Profile Assessments) ලබා ගැනීමටත් හැකි වීමයි. තවද, පාඨමාලා, ඇතුළත් වීමේ නිර්ණායක සහ ශිෂ්‍යත්ව පිළිබඳ විස්තර ලබා ගැනීමට සහ සුදුසුකම් සහිත සිසුන්ට ඉක්මන් ප්‍රවේශ ලිපි (On the spot offer letters) ලබා ගැනීමටද අවස්ථාව ලැබුණි. මීට අමතරව, වීසා ක්‍රියාවලිය, නවාතැන් පහසුකම්, විදේශීය සෞඛ්‍ය රක්ෂණ සහ දිගුකාලීන අධ්‍යයන සැලසුම් පිළිබඳව PFEC Global උපදේශකවරුන්ගේ සහාය නොමිලේ හිමි විය.
මෙම අවස්ථාව පිළිබඳව සිය අදහස් දක්වමින් PFEC Global ශ්‍රී ලංකා ශාඛා ප්‍රධානී නව්දීප් කෞර් මහත්මිය මෙසේ ප්‍රකාශ කළා ය. "ලෝක අධ්‍යාපන ප්‍රදර්ශනයේ අරමුණ වන්නේ සිසුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට විශ්වවිද්‍යාල නියෝජිතයන් සමඟ සෘජුව සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම මෙන්ම විදේශ අධ්‍යාපනය වඩාත් පැහැදිලි සහ ප්‍රායෝගික එකක් බවට පත් කිරීමයි. මේ වසරේදී විවිධ අධ්‍යාපන මට්ටම්වල පසුවන සිසුන්ගේ ඉහළ උනන්දුවක් දක්නට ලැබුණු අතර, බොහෝ දෙනෙකුට සිය සුදුසුකම් ඇගයීම් සහ ප්‍රවේශ ලිපි ඉක්මණින් ලබාගැනීම හරහා ඉදිරි පියවර වේගවත් කරගැනීමට හැකි විය. අපගේ ඉලක්කය වන්නේ නිවැරදි අධ්‍යාපන මාවත තෝරා ගැනීමේ සිට දිගුකාලීන ප්‍රතිලාභ දක්වා සිසුන්ට අවශ්‍ය සම්පූර්ණ සහාය ලබා දීමයි."
ඉහළ සහභාගීත්වයක් සහ සාර්ථක ප්‍රතිඵල අත්කර දෙමින් නිමාවට පත් වූ PFEC Global ලෝක අධ්‍යාපන ප්‍රදර්ශනය 2026 මඟින් ශ්‍රී ලංකාව තුළ විධිමත් සහ විශ්වාසදායක විදේශ අධ්‍යාපන මඟපෙන්වීම් සඳහා පවතින ඉල්ලුම සහ සිසුන් හා ජාත්‍යන්තර අධ්‍යාපන ආයතන අතර සෘජු සන්නිවේදනයේ ඇති වැදගත්කම නැවත වරක් තහවුරු කරයි.


Video Story