February, 5, 2026
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA) සමඟ එක්ව ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය සහතිකයක් වන NVQ සුදුසුකම් සපුරාගත් පින්තාරු ශිල්පීන් 100 කට වැඩි පිරිසක් ඇගයීමට ලක් කරමින් JAT Holdings PLC ආයතනය 6 වන පින්තාරු අභිමන් NVQ සහතික පිරිනැමීමේ උත්සවය පසුගියදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ඒ අනුව ජාත්‍යන්තර පිළිගැනීමක් NVQ සහතිකලත් පින්තාරු ශිල්පීන් 800 දෙනෙකු මේ වන විට දේශීය වෙළඳපොළට දායාද කර ඇත. මෙම වැඩසටහන හරහා පින්තාරු ශිල්පීන් දිරිමත් කිරීම, ඔවුන්ගේ නිපුණතා වර්ධනය කිරීම සහ ආර්ථික මට්ටම ඉහළ නැංවීම JAT Holdings සමාගමේ ප්‍රධාන අරමුණ වී ඇත. මෙවර සහතික පත්‍ර ප්‍රදානෝත්සවය මගින් මෙම වැඩසටහනේ ව්‍යාප්තිය මෙන්ම, එමගින් පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය සහ සමස්ත ප්‍රජාව වෙත උදාකර දී ඇති ප්‍රායෝගික හා සාධනීය වෙනස මැනවින් පිළිබිඹු කෙරේ.
වෘත්තිකයන්ගේ දෛනික සේවා කාලය උපරිමයෙන් කළමනාකරණය කරමින්, මාස හයක NVQ පාඨමාලාව කෙටි කාලීන දැඩි ඇගයීම් ක්‍රියාවලියක් යටතේ වඩාත් කාර්යක්ෂම හා ප්‍රායෝගික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට JAT Holdings සහ NAITA ආයතනය සමත්ව සිටී. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ, මෙම සහතිකකරණ ක්‍රියාවලිය සඳහා වැයවන සම්පූර්ණ පිරිවැය JAT Holdings සමාගම විසින් දරනු ලැබීමයි. ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් සහිත පලපුරුදු සහ දක්ෂ පින්තාරු ශිල්පීන් වෙනුවෙන්ම සකස් කළ මෙම වැඩසටහන මගින්, ඔවුන්ට කිසිදු මූල්‍ය පිරිවැයකින් තොරව ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය පිළිගැනීමක් ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.
JAT ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව, මෙම සහතිකය ලබාගත් වෘත්තිකයන්ගෙන් 90%කගේ ආත්ම විශ්වාසය වර්ධනය වී ඇති අතර, 76%ක් තම ජීවන තත්ත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව තහවුරු කර ඇත. විශේෂයෙන්ම, මෙම සහතිකය ලබාගත් පින්තාරු ශිල්පීන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු මේ වන විට තමන්ගේම ස්වාධීන ව්‍යාපාර ආරම්භ කර තිබීම මෙරට ව්‍යවසායකත්වයේ දියුණුවට මහත් පිටුවහලකි.
ක්ෂේත්‍රයේ විවිධත්වය සුරකිමින් සැමට සමාන අවස්ථා ලබා දීමට JAT Holdings දරන කැපවීම මෙහිදී මැනවින් විදහා දැක්විණි. ඒ අනුව, සාමාන්‍යයෙන් පුරුෂ මූලික ක්ෂේත්‍රයක් ලෙස සැලකෙන පින්තාරු ක්ෂේත්‍රය තුළ නව පෙරළියක් ඇති කරමින්, මෙවර කාන්තා පින්තාරු ශිල්පිනියන් සිව් දෙනෙකු ද NVQ සහතික පත්‍ර දිනා ගැනීම සුවිශේෂී සන්ධිස්ථානයක් විය.
මෙම අවස්ථාවට එක්වෙමින් JAT Holdings සමාගමේ දකුණු ආසියානු විකුණුම් හා තාක්ෂණික අධ්‍යක්ෂ වසන්ත ගුණරත්න මහතා මෙසේ අදහස් දැක්වීය.
"අපගේ අරමුණ පින්තාරු ශිල්පීන්ට අවශ්‍ය වෘත්තීය මට්ටම සහ පිළිගැනීම ලබා දෙමින් ඔවුන් බලගැන්වීමයි. ශිල්පීන් 800කට අධික පිරිසකට ජාත්‍යන්තර NVQ සහතික ලබා දීමෙන් අප කරන්නේ හුදෙක් තාක්ෂණික ප්‍රමිතීන් උසස් කිරීම පමණක් නොව, ඔවුන්ගේ මූල්‍ය ස්වාධීනත්වයට පදනම දැමීමයි. පුහුණුව ලැබූවන් අතරින් සෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකුම ව්‍යවසායකත්වයට පිවිසීම, මෙම වැඩසටහන හරහා අප අත්කරගත් සුවිශේෂී ප්‍රතිඵලයයි. පුද්ගල කුසලතා මත ආයෝජනය කිරීමෙන් නව ලොවකට මග විවර කළ හැකි බව අපි විශ්වාස කරමු. සෑම ශිල්පියෙකුටම නායකත්වයක් කරා යා හැකි මෙම වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමට JAT ආයතනය කැපවී සිටියි."
මෙම සහතික පත්‍ර ප්‍රදානෝත්සවය හරහා JAT Holdings සමාගම ශ්‍රී ලංකාවේ පින්තාරු ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මෙන්ම ජාතික නිපුණතා සංවර්ධනයට ලබාදෙන දායකත්වය නැවත වරක් සනාථ කර ඇත.
Video Story