February, 6, 2026
ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තය, සමාජීය තිරසරබව මූලික කරගත් නව යුගයකට පිවිසෙන බව, පසුගිය දා කොළඹ Taj Samudra හෝටලයේ පැවැති උසස් මට්ටමේ ජාත්‍යන්තර සමුළුවකදී යළි තහවුරු කෙරුණි. මෙම සමුළුවේදී, සමාජීය තිරසරබව ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරීත්වය සහ ගෝලීය වෙළඳපොළ ප්‍රවේශය ශක්තිමත් කිරීමට කෙසේ උපකාරී විය හැකිද යන්න පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයින් විසින් මෙහිදී සාකච්ඡා කරනු ලැබීය.
WRAP (Worldwide Responsible Accredited Production), Intertek, Joint Apparel Association Forum of Sri Lanka (JAAF), ප්රමුඛ ඇඟලුම් නිෂ්පාදන සමාගම් සහ තිරසරභාවය පිළිබඳ විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සමුළුව, වඩාත් නීතිමය හා නියාමන පාලනයකට ලක්වන ගෝලීය වෙළඳපොළක ශ්‍රී ලංකාව ස්ථානගත විය හැකි ආකාරය පිළිබඳ අවධානය යොමු කළේය.
සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ WRAP හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Avedis Seferian මහතා, ගෝලීය වෙළඳාමේ අනාගතය ස්ථායීභාවය විසින් හැඩගස්වමින් පවතින බව අවධාරණය කළේය. විශේෂයෙන් ඇමෙරිකානු සහ යුරෝපා වෙළඳපොළවල් මානව හිමිකම් පිළිබඳ නිසි උද්යෝගය, පාරදෘශ්‍යතාවය සහ සැපයුම් දාම හඳුනාගත හැකිභාවය වෙත වේගයෙන් ගමන් කරමින් සිටින බවද ඔහු පෙන්වා දුන්නේය.
“තිරසාරබව තවදුරටත් විකල්පයක් නොව, වෙළඳපොළ ප්‍රවේශය සඳහා මූලික අවශ්‍යතාවක් වී තිබෙනවා. ශ්‍රී ලංකාව දශක ගණනාවක් තුළ ගොඩනඟාගත් ශක්තිමත් පදනමක් මත ඉදිරියට යාමට මේ අනුව හැකියාවක් ඇති බව මගේ අදහසයි,” යනුවෙන් Seferian මහතා සඳහන් කළේය.
WRAP විසින් 2003 වසරේදී ශ්‍රී ලංකාවේ පළමු සහතිකය ලබාදීම සහ “Garments Without Guilt” වැනි වැඩසටහන් හරහා කර්මාන්තය කලින්ම සමාජීය වගකීම් අනුගමනය කිරීම, අද පවතින නීතිමය හා අනුකූලතාව මූලික කරගත් ගෝලීය පරිසරයට ශ්‍රී ලංකාව හොඳින් සූදානම් කර ඇති බවද මෙහිදී අවධාරණය කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ලේකම් Yohan Lawrence මහතා, තිරසරබව හුදෙක් ප්‍රචාරණ මෙවලමක් බවට පත්වීමෙන් ඔබ්බට ගොස්, කර්මාන්තයේ දිගුකාලීන ආර්ථික ශක්තිමත්භාවය තීරණය කරන මූලික සාධකයක් බවට පත්ව ඇති බව පැහැදිලි කළේය.
“තිරසරබව යනු පිරිවැයක් නොව, එය මුදල් ඒකකයක් ලෙස සැලකිය යුතුය. දත්ත මූලික කරගත් ගෝලීය වෙළඳපොළක, සමාජීය අනුකූලතාවය සහ සැපයුම් දාම පාරදෘශ්‍යතාවය, මෙම ක්ෂේත්රයේ ජයග්‍රාහකයා කවුරුන්ද යන්න තීරණය කරයි,” යනුවෙන් Lawrence මහතා සඳහන් කළේය.
මෙම සමුළුවේදී දත්ත හා ඩිජිටල් සැපයුම් දාම පද්ධතිවල වැදගත්කමද විශේෂයෙන් අවධාරණය කෙරුණි. WRAP වැනි සමාජීය විගණන දත්ත, ගෝලීය ගැනුම්කරුවන් ඉල්ලා සිටින තත්‍ය කාලීන හඳුනාගත හැකි පද්ධති සමඟ ඒකාබද්ධ කිරීම, විශ්වාසය සහ වෙළඳපොළ ප්‍රවේශය තීරණය කරන මූලික සාධකයක් බව මෙහිදී පෙන්වා දෙන ලදී. මෙම වටමේස සාක්ඡාව සඳහා Avedis Seferian, ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ලේකම් යොහාන් ලෝරන්ස්, MAS හෝල්ඩිංග්ස් ආයතනයේ ව්‍යාපාර තිරසර අංශ ප්‍රධානී අමන්ති පෙරේරා, ස්ටාර් ගාමන්ට් ආයතනයේ සෙනුර ධර්මදාස, සහ Courtaulds ආයතනයේ සහකාර සාමාන්‍යාධිකාරී, පරිසර, සමාජ සහ යහපාලන පිලිවෙත් පිලිබඳ ප්‍රධානී සුමති සිරිවර්ධන මහතා විසින් සභාව මෙහෙයවන ලදි. එහිදී WRAP සහතිකකරණය ගෝලීය ගැනුම්කරුවන්ගේ අනුකූලතාවන්ට සහාය වන්නේ කෙසේද , නිසි උද්යෝගයට අදාල නව නීති, අවදානම් කළමනාකරණය ශක්තිමත් කිරීම, සහ ගෝලීය ගැනුම්කරුවන්ගේ විශ්වාස දිනා ගැනීම යන කරුණු පිලිබඳව අවධානය යොමු කරන ලදි.
මෙම සමුළුව පිලිබඳව ඉදිරි දැක්මක් සහිත ව අදහස් දැක්වූ Avedis Seferian මහතා “ වෙනස් වෙමින් පවතින ගෝලීය තත්වයන් යටතේ ශ්‍රී ලංකාවට සුවිශේෂී අවස්ථාවන් විවර වී තිබෙනවා. මේ වන විට රටවල් වඩාත් කාර්යක්ෂම, විනිවිද බවින් යුතු, සහ පුද්ගලයින් මූලික කරගත් තිරසර ක්‍රමවේද වෙත ගමන් කරමින් සිටිනවා. මේ වෙනස් වන තත්වයන් අපි හඳුනාගැනීමට සමත් වේ නම් අපගේ අනාගතය ද දිප්තිමත් විය හැකියි මෙන්ම ශ්‍රී ලංකාව ඔවුන්ගේ අනෙක් තරගකරුවන්ට සාපේක්ෂව මෙම ක්ෂේත්රයන්හිදී වඩාත් ඉහළින් සිටිනවා” යනුවෙන් පැවසීය.
සමුළුව අවසානයේ පැවැති ජාලකරණ සැසිය සමඟ, පැමිණ සිටි සියලු පාර්ශවයන් අතර පැහැදිලි වූ පණිවිඩය වන්නේ, දත්ත, පාරදෘශ්‍යතාවය සහ වගකීමෙන් යුතු ව්‍යාපාරික ක්‍රමවේද වෙළඳපොළ ප්‍රවේශය තීරණය කරන ගෝලීය පරිසරයක, ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තය පසුපසින් නොව, නව ප්රමිතීන් ස්ථාපිත කරමින් ඉදිරියෙන් ගමන් කරමින් සිටින බවයි.
ගෝලීය නීති දැඩි වෙමින් සහ ගැනුම්කරුවන් සත්‍යාපිත, සමාජීය වගකීම් සහිත මූලාශ්රයන් වෙත යොමුවෙමින් සිටින මේ අවස්ථාවේ, ශ්‍රී ලංකාවේ දිගුකාලීන සමාජීය තිරසරබවට ඇති කැපවීම, අනාගත වර්ධනය සඳහා ශක්තිමත් පදනමක් සපයයි. මෙම සමුළුවෙන් යළි අවධාරණය වූ මූලික කරුණ වූයේ ස්ථායීභාවය තවදුරටත් ව්‍යාතිරේකයක් නොව, එය ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තයේ ප්‍රධාන උපායමාර්ගය වනු ඇති බවයි.
Video Story