February, 9, 2026
බොහෝ විට නොතකා හරිනු ලබන ගැටලුවක් වන සනීපාරක්ෂක තුවා සුරක්ෂිත ලෙස බැහැර කිරීමේ ගැටලුවට විසඳුමක් ලබාදෙමින්, අධ්‍යාපනයේ සිට යටිතල පහසුකම් දක්වා පරිපූර්ණ මෙහෙවරක් වෙනුවෙන් Fems දක්වන උනන්දුව හා කැපවීම යළි තහවුරු කිරීමක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems විසින් දියත් කරන ලද නවතම ව්‍යාපෘතිය වන ‘Purple Bin’ පසුගියදා ගාල්ල බටදූව ශ්‍රී රතනජෝති මහ විද්‍යාලයේදී නිල වශයෙන් ආරම්භ විය. මෙය ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැනු දරුවන් සියලුම දෙනාට තම ඔසප් සනීපාරක්ෂක අවශ්‍යතා වඩාත් පහසුවෙන්, සුරක්ෂිත ලෙස සහ ආත්ම ගරුත්වයෙන් යුතුව සපුරා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා Fems දරන උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්ථානයකි.
සනීපාරක්ෂක තුවා සුරක්ෂිතව බැහැර කිරීම සඳහා නිසි පහසුකම් නොතිබීමේ ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ කාලයක පටන් නිසි අවධානයක් යොමු වී නොතිබිණි. මේ හේතුවෙන් ඔසප් වන කාලය තුළ ගැහැනු දරුවන්ට බරපතළ අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වන අතර, එය ඔවුන්ගේ ආත්ම විශ්වාසයටද අහිතකර ලෙස බලපාන සාධකයක් වේ. Purple Bin ව්‍යාපෘතියෙහි අරමුණ වන්නේ මෙම ගැටලුවට විසඳුමක් ලබාදීමය.
මෙම ව්‍යාපෘතිය යටතේ සනීපාරක්ෂක තුවා සුරක්ෂිත ලෙස එක්රැස් කිරීම සහ බැහැර කිරීම සඳහා Fems මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය හිමි සේවා සම්පාදකයෙකු වන Sisili Hanaro Encare (පුද්.) සමාගම සමඟ සම්බන්ධ වී සිටී. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය සමඟ ඇතිකරගත් රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වයක් ලෙස ක්‍රියාත්මක වන Encare මඟින් ශ්‍රී ලංකාවේ විශාලතම මධ්‍යගත සායනික අපද්‍රව්‍ය කළමනාකරණ සේවාව මෙහෙයවනු ලබයි.
2026 ජනවාරි 30 වන දින දියත් කරන ලද මෙම ව්‍යාපෘතියේ පළමු අදියර, ඉමහත් සැලකිල්ලෙන් යුතුව තෝරාගන්නා ලද පාසල් 20 ක ක්‍රියාත්මක කෙරේ. මේ යටතේ සෑම පාසලකටම Fems වෙතින් සනීපාරක්ෂක තුවා බැහැර කිරීමේ බඳුන් ලබාදෙන ලද අතර, ඒවා නිවැරදිව භාවිතා කරන ආකාරය සම්බන්ධ මඟපෙන්වීම් ඇතුළත් උපදෙස් පත්‍රිකා වැසිකිලි පරිශ්‍ර තුළ තුළ ප්‍රදර්ශනය කරන ලදි. මීට සමගාමීව සනීපාරක්ෂාව පවත්වා ගනිමින්, සනීපාරක්ෂක තුවා එක්රැස් කිරීම Encare මඟින් සිදුකරනු ලබයි. එක් රැස් කර ගන්නා සනීපාරක්ෂක තුවා ප්‍රතිචක්‍රීකරණය කර ගොඩනැගිලි අමුද්‍රව්‍යක් වන ගඩොල් සෑදීම වෙනුවෙන් භාවිතා කෙරේ. මෙම නියමු අදියර, මෙම ව්‍යාපෘතිය ජාතික මට්ටමින් ව්‍යාප්ත කිරීමේ ශක්‍යතාව තීරණය කිරීම සඳහා මනා ආදර්ශයක් වනු ඇත.
“සනීපාරක්ෂක තුවා බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීම, දීර්ඝ කාලයක පටන් මෙරට ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනයට අහිතකර ලෙස බලපෑ එක් අදෘශ්‍යමාන බාධාවක් ලෙස හැඳින්විය හැකියි. මෙම ගැටලුවට සෘජු විසඳුමක් වශයෙන් අප Purple Bin ව්‍යාපෘතිය ආරම්භ කළා. මෙමඟින් රට පුරා වෙසෙන පාසල් සිසුවියන්ට ගෞරවයෙන් හා ආත්ම විශ්වාසයෙන් යුතුව සනීපාරක්ෂක තුවා බැහැර කිරීම සඳහා ප්‍රයෝගික විසඳුමක් හිමිවෙනවා. මෙය ගැහැනු දරුවන්ට අවශ්‍ය සනීපාරෂක තුවා සහ ඒ සම්බන්ධ දැනුම පමණක් නොව, ආත්ම විශ්වාසයෙන් යුතුව තම ඔසප් සෞඛ්‍ය අවශ්‍යතා කළමනාකරණය කරගැනීමට අවශ්‍ය යටිතල පහසුකම්ද ලබාදෙමින්, පරිපූර්ණ ඔසප් සෞඛ්‍ය හා සනීපාරක්ෂව සම්බන්ධයෙන් අප සතු දැක්ම සම්පූර්ණ කරන මෙහෙවරක් ලෙස අප දකිනවා.” Hemas Consumer Brands සමාගමේ සාමාන්‍යාධිකාරී (කාන්තා සනීපාරක්ෂාව) සචිනි ගමගේ මහත්මිය පැවසුවාය.
2023 වසරේ මැයි මාසයේදී දැරිය හැකි මිලකට ලබාගත හැකි Fems Aya සනීපාරක්ෂක තුවා හඳුන්වා දීමෙන් සහ H.E.R පදනම පිහිටුවීමෙන් අනතුරුව මේ දක්වා Fems ශ්‍රී ලංකාවේ ඔසප් සෞඛ්‍යය සම්බන්ධ ආකල්ප හා පහසුකම් පූර්ණ වෙනසකට ලක්කිරීම සඳහා ක්‍රමානුකූල පියවර රැසක් ගෙන තිබේ. මේ සඳහා රටේ විවිධ ප්‍රදේශවල ජනතාව සම්බන්ධ කරගනිමින් පුළුල් මට්ටමින් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලද අතර, එහිදී Fems විසින් ඔසප් සෞඛ්‍යයට බලපාන ප්‍රධාන බාධක 4 ක් (අධ්‍යාපනය, ආර්ථිකය, සනීපාරක්ෂක පහසුකම් සහ සුරක්ෂිත ලෙස බැහැර කිරීමේ පහසුකම්) හඳුනා ගන්නා ලදි.
සමාජ අපවාද සහ සාවද්‍ය තොරතුරු පිටුදැකීම සඳහා ඔසප් සෞඛ්‍යය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් Fems ක්‍රියාවට නංවා ඇති පරිපූර්ණ ඔසප් සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් හරහා දැනටමත් කාන්තාවන් 300,000 කට අධික සංඛ්‍යාවක් දැනුවත් කිරීමට හැකි වී ඇත. එමෙන්ම රට පුරා කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට උසස් ප්‍රමිතියෙන් යුත් සනීපාරක්ෂක තුවා සහන මිලට ලබාගැනීමට අවස්ථාව සලසා දීම සඳහා සඳහා Fems විසින් Fems Aya හඳුන්වා දෙන ලදි.
බාධාවකින් තොරව සනීපාරක්ෂක තුවා භාවිතා කිරීමේ හැකියාව සහතික කරන අතරම නිසි සනීපාරක්ෂක පහසුකම් සැපයීමේ වැදගත්කම හඳුනා ගනිමින්, පාසල්වල සනීපාරක්ෂක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා Teejay වැනි සංවිධාන සමඟ අත්වැල් බැඳගැනීමටද Fems පියවර ගෙන තිබේ. ඉහත සඳහන් කළ සිව් වැනි බාධාව වන සුරක්ෂිත ලෙස සනීපාරක්ෂක තුවා බැහැර කිරීමේ ගැටලුව විසඳීම සඳහා Fems විසින් Purple Bin ව්‍යාපෘතිය දියත් කරන ලදි. මේ සියල්ල, ඔසප් සෞඛ්‍යය සම්බන්ධයෙන් Fems විසින් පරිපූර්ණ ප්‍රවේශයක් අනුගමනය කරනු ලබන බවට මනා සාක්ෂියකි.

Hemas Consumer Brands හි සාමාන්‍යාධිකාරී (කාන්තා සනීපාරක්ෂාව) සචිනි ගමගේ මහත්මිය, Fems මඟින් බලගන්වන ලද Purple Bin ව්‍යාපෘතියේ අරමුණු පැහැදිලි කරමින්

දකුණු පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඒ. සී. බමුණුසිංහ මහත්මිය රැස්ව සිටි පිරිස අමතමින්

Purple Bin භාවිතා කරමින් සනීපාරක්ෂක තුවා සුරක්ෂිතව බැහැර කරන ආකාරය පෙන්වා දෙන වෛද්‍ය සත්‍යානි වෑවිට
ඡායාරූප විස්තරය : ඔසප් සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියට සහභාගී වූ සිසුවියන්
Video Story