ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර 27 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම පෙබරවාරි 12වැනිදා

    February, 10, 2026

    ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය යුරෝපා සංගම්- ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 27 වැනි සැසිවාරය පෙබරවාරි මස 12 වැනිදා කොළඹදී පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

    රාජ්‍ය පාලනය, මානව හිමිකම්, වෙළෙඳාම, සංවර්ධන සහයෝගීතාව සහ අනෙකුත් ද්විපාර්ශ්වික සහ කලාපීය ප්‍රමුඛතා ඇතුලු විවිධ ක්ෂේත්‍ර හරහා ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින හවුල්කාරිත්වය සමාලෝචනය කර ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම ඉහළ මට්ටමේ රැස්වීමේදී එක්ව කටයුතු කරනු ඇත.

    ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම්, අරුණි රණරාජා මහත්මිය සහ යුරෝපීය විදේශ ක්‍රියාකාරී සේවයේ (EEAS) ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වැඩබලන කළමනාකාර අධ්‍යක්ෂිකා පාඕලා පම්පලෝනි මහත්මිය ඒකාබද්ධ කොමිසමේ සම සභාපතිත්වය දරයි.

    තවද මෙරට සංචාරයේ යෙදෙන යුරෝපා සංගම් නියෝජිත පිරිස ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින වත්මන් හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම සඳහා ගත හැකි සහයෝගී ප්‍රවේශ සහ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලාංකික සම්භාවනීය අමුත්තන්ද හමුවනු ඇත.