February, 11, 2026
තිරසාරභාවය වෙනුවෙන් වූ තම දිගුකාලීන කැපවීම ශක්තිමත් කරගනිමින් කොමර්ෂල් බැංකුව සිය හරිත ණය හා කල්බදු ක්‍රමවේද පුළුල් කිරීමේ අරමුණින් GAIA Greenenergy Holdings සමාගම සමඟ උපායමාර්ගික හවුල්කාරීත්වයකට එළඹ ඇත. එමගින් පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට සූර්ය බලශක්තිය භාවිතා කිරීමට හැකි වනු ඇත.
මෙම හවුල්කාරීත්වය විධිමත් කරමින් කොමර්ෂල් බැංකුවේ පුද්ගලික බැංකුකරණ නිෂ්පාදන අංශයේ ප්‍රධාන කළමනාකරු දුෂ්මන්ත ජයසූරිය මහතා සහ GAIA Greenenergy Holdings සමාගමෙහි ප්‍රධාන විධායක නිළධාරී ලලින්ද කළුබෝවිල මහතා විසින් පසුගිය දා අදාල අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී.
මෙම සහයෝගීතාවය යටතේ සූර්ය පැනල මිලදී ගැනීම පුළුල් කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව 10.00% සිට ආරම්භ වන පරිදි වරණීය පොලී අනුපාත ලබා දෙන අතර වසර හතක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවන් ද ලබා දෙනු ඇත. සූර්ය පැනල මිලදී ගැනීම හා ස්ථාපනය කිරීම සඳහා මුදල් සම්පාදනය කර ගැනීමට බැංකුවේ හරිත ණය හා කල්බදු ක්‍රම භාවිතා කිරීමට ගනුදෙනුකරුවන් හට හැකියාව ලැබෙන අතර මෙම වැඩසටහන 2026 දෙසැම්බර් 2 වන දින දක්වා ක්‍රියාත්මක වේ.
GAIA වෙතින් සම්මත සූර්ය බලශක්ති පද්ධතිවල සිට 3 kW සහ දෙමුහුන් මාදිලි දක්වා වූ පද්ධති, විකල්ප සහිත සූර්ය PV පද්ධති සංවර්ධනය කිරීම, සැලසුම් කිරීම, ඉදිකිරීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම ආදී සේවාවන් ද ඇතුලත් පාරිභෝගික වටිනාකම් ශක්තිමත් කරමින් පුළුල් සේවා කට්ටලයක් පිරිනමනු ලබයි.
මෙම පාරිභොගිකයින් හට වසරක නොමිලේ නඩත්තු සේවාවන් සහ වසරක රක්ෂණයක් ද හිමි වේ. GAIA විසින් ස්ථාපනය කරන ලද සූර්ය පද්ධති එහි මූලස්ථානයේ මධ්‍යම පාලන අංශයක් හරහා තත්‍ය කාලීනව නිරීක්ෂණය කරනු ලැබේ. එම පද්ධතිවල යම් යම් කාර්ය සාධන අපගමනයක් සිදු වුවහොත්, සමාගමේ සැලසුම් හා ඉංජිනේරු කණ්ඩායම්වලට ඕනෑම අවස්ථාවක ඒ පිළිබඳව සේවාදායකයින්ට ඉක්මණින් උපදෙස් ලබා දීමට හැකිය. GAIA සූර්ය පැනල සඳහා වසර 12ක වගකීමක්, ඉන්වර්ටර් සඳහා වසර 10ක වගකීමක් සහ සූර්ය පැනල සඳහා වසර 30ක කාර්ය සාධන වගකීමක් ද ලබා දෙයි.
GAIA Greenenergy සමාගම, ඉහළ ගණයේ ගොලීය ESG ආයෝජකයින්ගේ සහය ඇතිව කර්මාන්තයේ නිරත වන ප්‍රමුඛ පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවෙකි. ශ්‍රී ලංකාවේ වහළ මත සවිකර ඇති විශාලතම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය වන පළාත් හතක් පුරා විහිදෙන, රජය හා පෞද්ගලික අංශය අතර හවුල්කාරීත්වයෙන් ක්‍රියාත්මක කරන ලද, 350 MW ව්‍යාපෘතිය සඳහා ද පෙරමුණ ගෙන ඇත්තේ ද මෙම සමාගමයි. එහි ආකෘතිය මගින් ෆොසිල ඉන්ධන ආනයන මත යැපීම අඩුකර, ප්‍රධාන විදුලි පද්ධතිය මත යැපීම අඩු කිරීම තුළින් ජාතික බලශක්ති පිරිවැය අඩුකර, ශ්‍රී ලංකාවේ බලශක්ති සංක්‍රාන්ති ඉලක්කවලට සහය වනු ඇත.
ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
සේයාරු සටහන: කොමර්ෂල් බැංකුවේ පුද්ගලික බැංකුකරණ නිෂ්පාදන අංශයේ ප්‍රධාන කළමනාකරු දුෂ්මන්ත ජයසූරිය මහතා සහ GAIA Greenenergy Holdings සමාගමෙහි ප්‍රධාන විධායක නිළධාරී ලලින්ද කළුබෝවිල මහතා සමාගම් දෙකෙහි නියෝජිතයින් ඉදිරියේ ගිවිසුම හුවමාරු කර ගැනීම
Video Story