February, 11, 2026
SLT-MOBITEL Mobile සහ Fintelex (පුද්.) සමාගම එක් වී ශ්‍රී ලාංකික ගොවීන්ට වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත සහ තිරසාර ලෙස තම කෘෂිකාර්මික කටයුතු වැඩිදියුණු කරගැනීමට උපකාරී වන සුවිශේෂී ජංගම යෙදුමක් හඳුන්වා දී තිබේ. ‘Yaya Agro’ ලෙස නම් කර ඇති මෙය ගොවීන්ට අවශ්‍ය සේවාවන් රැසක් එකම යෙදුමක් හරහා ලබාගැනීමට අවස්ථාව සලසන සුවිශේෂී විසඳුමකි.
ගොවීන්ට බුද්ධිමත් තීරණ ගැනීමට, ඵලදායීතාව වැඩිදියුණු කර ගැනීමට සහ තිරසාර අනාගතයක් ගොඩනංවා ගැනීමට අවශ්‍ය වන නවීන තාක්ෂණය, විශේෂඥ දැනුම සහ ප්‍රජාවන් සවිබල ගැන්වීමේ මෙහෙවර එකතැන් කරන Yaya Agro ශ්‍රී ලංකාවේ ඩිජිටල් කෘෂිකර්මාන්තයේ නව යුගයක් නියෝජනය කරන නවෝත්පාදනයක් ලෙස හැඳින්විය හැකි වේ.
GIZ සහ Hatch හි සහාය ඇතිව නිර්මාණය කර ඇති Yaya Agro මඟින් ලබාදෙන තොරතුරු සහ උපදෙස් සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යායතනය සහ ශ්‍රී ලංකා රතු කුරුස සංගමය ඇතුළු ප්රමුඛ පෙළේ අධ්‍යාපන හා වෘත්තීය ආයතනවල සහයෝගයද හිමි වී ඇත. විශේෂඥ කෘෂිකාර්මික දැනුම, සජීවී කාලගුණික තොරතුරු, ප්‍රථමාධාර සහාය සහ AI තාක්ෂණික සහය යන සියල්ල Yaya Agro යෙදුම තුළ පහසුවෙන් භාවිතා කළ හැකි තනි පදනමකට කේන්ද්‍රගත කර තිබේ.
Yaya Agro දියත් කිරීම මෙරට තාක්ෂණ ක්ෂේත්රයේ නව්‍ය, විවෘත සහ සහයෝගී පුරෝගාමියෙකු ලෙස SLT-MOBITEL සතු පිළිගැනීම තවදුරටත් ශක්තිමත් කරන පියවරක් ලෙස හැඳින්විය හැක. දුරකථන සන්නිවේදන ක්ෂේත්රයේ සීමාවන්ගෙන් ඔබ්බට ගොස් තාක්ෂණ හා අධ්‍යාපන ආයතන සමඟ හවුල්කාරීත්වයන් ගොඩනංවා ගනිමින්, ගොවීන් වෙනුවෙන් AI තාක්ෂණික මෙවලම්, බහුභාෂා සේවා පහසුකම් සහ වෙළඳපොළ සම්බන්ධතා පහසුකම් සැපයීමට SLT-MOBITEL පියවර ගෙන තිබේ. මෙම සුවිශේෂී මෙහෙවර, ශ්‍රී ලංකාවේ ඩිජිටල් සවිබල ගැන්වීම සහ තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් SLT-MOBITEL සතු කීර්තිනාමය තවදුරටත් තහවුරු කරනු ඇත.
ගොවීන්ට පරිපූර්ණ ඩිජිටල් සහකරුවෙකු ලෙස ක්‍රියා කරන Yaya Agro ඔවුන්ට වඩාත් නිවැරදි කෘෂිකාර්මික තාක්ෂණික ක්‍රමවේදයන් හඳුන්වා දෙමින් සහ සජීවීව සහයෝගය ලබාදෙමින්, තම අස්වැන්න වඩාත් පහසුවෙන් අලෙවි කරගැනීමට අවශ්‍ය මගපෙන්වීම ඔවුන් වෙත ලබාදෙනු ඇත.
කුඩා ගෙවතුවල සිට විශාල වාණිජ ගොවිපළවල් දක්වා ඕනෑම පරිමාණයක කෘෂිකාර්මික කටයුතුවල නිරත වන ගොවීන්ට මෙමඟින් අස්වැන්න වැඩිදියුණු කරගැනීමට, අවදානම් අවම කිරීමට සහ ඒකාබද්ධ මාර්ගගත වෙළඳපොළ හරහා ගැනුම්කරුවන් සමඟ සෘජුව සම්බන්ධ වීමට අවශ්‍ය දැනුම හා මගපෙන්වීම හිමි වේ.
Yaya Agro මඟින් ගොවීන්ට කොළඹ විශ්ව විද්‍යාලයේ මඟපෙන්වීම යටතේ දෛනික බෝග තොරතුරු මෙන්ම බෝග කළමනාකරණය, පළිබෝධ පාලනය සහ විශිෂ්ටතම කෘෂිකාර්මික ක්‍රමවේදයන් පිළිබඳ විශේෂඥ උපදෙස් ලබාදෙනු ලැබේ. එමෙන්ම ගොවිතැන් කටයුතු වඩාත් ඵලදායී ලෙස සැලසුම් කිරීමට උපකාරී වන පරිදි, ගොවිතැන් කටයුතු සිදුකරන ප්‍රදේශයට බලපාන නිවැරදි කාලගුණ අනාවැකිද Yaya Agro තුළින් ලබාගත හැක. තවද ගොවීන්ට හදිසි අවස්ථාවලදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මඟපෙන්වීමක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා රතුකුරුස සංගමයේ මඟපෙන්වීම යටතේ ජීවිතාරක්ෂක ප්‍රථමාධාර සහ සුරක්ෂිතතා තොරතුරුද මීට ඇතුළත් කර ඇත. AI චැට්බොට් සේවාව හරහා ගොවීන්ට පැය 24 පුරාම තම ගැටලු සම්බන්ධ උපදෙස් ක්ෂණිකව ලබා ගත හැකි අතර, Smart Notifications මඟින් බෝග වගා කරන කාලසීමාවන්ට ගැළපෙන තොරතුරු සහ සිහිකැඳවීම් ලබා දේ.
රට පුරා ගොවීන්ට කිසිදු බාධාවකින් තොරව කෘෂිකාර්මික තොරතුරු හා සහයෝගය ලබාගැනීමට හැකි වීම සඳහා Yaya Agro යෙදුම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පරිශීලනය කළ හැකි පරිදි සැලසුම් කර ඇත. වීඩියෝ දර්ශන, හඬ තොරතුරු සහ රූපසටහන් ආදිය ඔස්සේ මේ හරහා මඟපෙන්වීම් ලබාදීම සිදුකරනු ලබයි. මෙයට GIZ සහ Hatch සමඟ එක්ව සැලසුම් කරන ලද මාර්ගගත වෙළඳපොළක් (Online Marketplace) ද ඇතුළත් වන අතර, ඒ හරහා ගොවීන්ට සෘජුවම ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ වෙමින් වඩාත් පහසුවෙන් තම නිෂ්පාදන අලෙවි කරගැනීමට හැකියාව ලැබේ.
ඡායාරූපය (වමේ සිට) - Yaya Agro හඳුන්වාදීමේ අවස්ථාවට එක් වූ කොළඹ විශ්ව විද්‍යාලීය කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යායතනයේ ආහාර තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සුපිපි නවරත්න, එම ආයතනයේ කෘෂි තාක්ෂණ අංශයේ ප්‍රධානී ආචාර්ය නිසංසලා විදානපතිරණ, එහි අධ්යක්ෂ මහාචාර්ය චම්පති ගුණතිලක, Fintelex පුද්. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නාත් ධර්මසේන, Mobitel ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදර්ශන ගීගනගේ, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක, Fintelex පුද්. සමාගමේ උපදේශක කෘෂි විද්‍යාඥ (ඩිජිටල් අන්තර්කරණ) ප්‍රදීප් අරුණසිරි සහ Mobitel හි ජ්‍යෙෂ්ඨ කළමනාකරු (අගය එකතු කළ සේවාවන්) මධුර හේවගේ යන මහත්ම මහත්මීන්
Video Story