ශ්‍රී ලංකාව තුළ ගනුදෙනු රුපියල්වලින් පමණයි – මහ බැංකුව අවධාරණය කරයි

    February, 12, 2026

    ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයින් විසින් මෙරට දී සිදුකරනු ලබන ගනුදෙනු සඳහා ශ්‍රී ලංකා රුපියල් වෙනුවට විදේශ මුදල් භාවිතා කරන අවස්ථා පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුවී ඇත.

    2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධානවලට අනුව, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ මහ බැංකුව විසින් විශේෂ අවසරයක් ලබා දී ඇති අවස්ථාවකදී හැර, මෙරට නේවාසිකයින් අතර සිදුවන සියලුම ගනුදෙනු ශ්‍රී ලංකා රුපියල්වලින් පමණක් සිදු කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරනු ලබයි.

    තවද, ශ්‍රී ලංකා රුපියල් විදේශ මුදල්වලට පරිවර්තනය කරමින්, විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් (හර හෝ බැර කාඩ්පත්) මගින් සිදු කරන ගෙවීම් ද ඇතුළුව, දේශීය ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන ගෙවීම්, විදේශ විනිමය ගිණුමකට බැර කරවා ගැනීම සඳහා දේශීය වෙළෙඳුන් හට මහ බැංකුව විසින් කිසිදු අවසරයක් ලබා දී නොමැති බව වෙළෙඳුන්ට සහ මහජනතාවට දන්වා සිටිමු.

    ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව, ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයෙකු මෙරට වෙළෙඳ ආයතනයක් වෙතවිදේශ මුදලින් ගෙවීම් සිදු කිරීම හෝ ඕනෑම වෙළෙඳ ආයතනයක් භාණ්ඩ හා සේවා සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයෙකුගෙන් විදේශ මුදලින් ගෙවීම් ලබා ගැනීම, ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ වරදක් වන අතර, මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ එම තැනැත්තකු පහත සඳහන් දඬුවම්වලට යටත් විය යුතුය:

    • රුපියල් මිලියන විසි පහකට (රු. 25,000,000/-) නොවැඩි දඩයක්; හෝ
    • වසර තුනකට (03) නොවැඩි කාලයක් සඳහා (බරපතළ හෝ ලිහිල්) සිර දඬුවමක්; හෝ
    • ඉහත කී දඩය සහ සිර දඬුවම යන දඬුවම් දෙකම

    දැඩි නීතිමය ක්‍රියා මාර්ගවලට භාජනය වීම වැළැක්වීම සඳහා, මෙම නීතිමය අවශ්‍යතා වලට දැඩි ලෙස අනුගත වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් සහ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

    Video Story

    Stock Market

    Exchange Rates