ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, පාපැදි ක්‍රීඩකයින් සුරක්ෂිත කරමින් ජාතික මට්ටමේ ක්‍රීඩා නගා සිටුවීම සඳහා ‘Lanka Ride 2026’ සමඟින් අත්වැල් බැඳගනී

    February, 13, 2026

    ශ්‍රී ලංකාවේ අංක 1 මෝටර් රථ රක්ෂණ සැපයුම්කරු මෙන්ම, වඩාත් විශ්වසනීයතම සාමාන්‍ය රක්ෂණකරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), ශ්‍රී ලංකාවේ දීපව්‍යාප්ත පාපැදි සවාරිය වන Lanka Ride 2026 සමඟ සහයෝගීතාවය ඇති කර ගනිමින්, එහි නිල රක්ෂණ සහකරු ලෙස සාඩම්බරව ඉදිරිපත් විය. මෙම සහයෝගීතාවය තුළින් අවදානමකදී ආරක්ෂාව ලබා දීම සහ ජාතික මට්ටමේ ක්‍රීඩා විශිෂ්ටත්වය තවත් වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් හි නායකත්වය පෙන්නුම් කළේය.

    Lanka Ride පාපැදි සවාරියේ මූලාරම්භය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ අන්තර්ගතව තිබේ. දශක දෙකකට වැඩි කාලයක් පුරා ලේක් හවුස් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ දීර්ඝතම සහ ප්‍රසිද්ධ පාපැදි ධාවන තරඟය වන මෙය, මීට පෙර ‘ලංකා සවාරිය’ ලෙස හැඳින්විණි.

    යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ශ්‍රී ලංකා පොලිසිය, ලේක් හවුස්  ආයතනය සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ඇතුළු පාර්ශව කරුවන්ගේ සහාය ඇතිව, ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන් වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ, රජයේ අනුමැතිය සහිතිව, මෙම ජාතික මට්ටමේ පාපැදි ධාවන තරඟය නැවත ආරම්භ කරන ලදී.

    ජනවාරි 16 සිට 18 වැනිදා දක්වා දින තුනක් පුරා පැවති මෙම ධාවන තරඟය, කොළඹ සිට මහනුවර දක්වාත්, මහනුවර සිට අනුරාධපුරය දක්වාත්, නැවත කොළඹ දක්වා වූ මාර්ගයේ ධාවනය කරමින් කොළඹ, ගම්පහ, කෑගල්ල, මහනුවර, මාතලේ, අනුරාධපුර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හතක් හරහා ගමන් කළේය. මෙම අවස්ථාවට පාපැදි සමාජ 26 ක් සහ ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලීසිය යන ආයතන නියෝජනය කරමින් පාපැදිකරුවන් 150 කට වැඩි පිරිසක් සහභාගී වූ අතර, මේ හරහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ආයතනවල ශක්තිය සහ රට පුරා පාපැදි ක්‍රීඩාවේ වර්ධනය හා ජනප්‍රියතාවය විදහා දැක්විණි.

    මෙම පාපැදි ධාවන තරඟයේ නිල රක්ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, සියලුම ලියාපදිංචි පාපැදිකරුවන් සහ නිලධාරීන් සඳහා පෞද්ගලික හදිසි අනතුරු රක්ෂණයක් ලබා දීමට පියවර ගනු ලැබූ අතර, මාර්ග කළමනාකරණය සහ ආරක්ෂාව සඳහා සේවයේ යොදා ඇති පොලිස් පරිවාර රථ සඳහා තාවකාලික මෝටර් රථ රක්ෂණයක් ද ලබා දීමට කටයුතු කළේය.

    දිවයින පුරා ක්‍රියාත්මක සිය සේවා ජාලය සමඟින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් හි නිලධාරීන් පාපැදි ධාවන තරඟයේ ආරම්භක සහ අවසාන ස්ථානවලදී ධාවකයින්, කාර්යභාර නිලධාරීන් සහ නරඹන්නන් සමඟ සෘජුවම සම්බන්ධ වෙමින්, විශ්වසනීය ආරක්ෂකයෙකු ලෙස සමාගමේ කාර්යභාරය පිළිබඳව ඔවුන් වෙත නැවත අවධාරණය කළේය. තම කාර්යභාරය පුළුල් කරමින්, SLICGL කාර්ය මණ්ඩලය, නියෝජිතයින් 50 කට වැඩි පිරිසක් පාපැදි තරඟකරුවන් පිළිගැනීමට, පිරික්සුම් ස්ථාන වෙත සහාය ලබා දීමට සහ සහභාගීවන්නන් දිරිමත් කිරීමට කටයුතු කරමින්, සැබෑ සහයෝගීතාවය සහ ප්‍රජා හැඟීම ප්‍රදර්ශනය කළේය.

    ජීවිතයේ විවිධ අවස්ථාවන් වලදී අනපේක්ෂිත පියවරක් තබනා මොහොතක, සුරක්ෂිත බව අවධාරණය කරමින්, මිනිසුන් හට සහය වීමේ SLICGL පුළුල් මෙහෙවර මෙහිදී ඉස්මතු කරන ලදී. ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආරක්ෂා කිරීමේදී සහ ජාතික මට්ටමේ ක්‍රීඩා ඉසව් සඳහා සහාය ලබා දීමෙන් ඔවුන් දිරිගැන්වීම සහ සුරක්ෂිත කිරීම වැනි SLICGL රක්ෂණයේ සැබෑ අරමුණු ද මෙයින් විදහා දක්වන ලදී.

    දශක හයකට වැඩි පළපුරුද්දක් සහිත, රාජ්‍ය අනුග්‍රහය ලත් රක්ෂණකරුවෙකු ලෙස, SLICGL ජීවිත සුරක්ෂිත කිරීම, ප්‍රජාවන් ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රගමනය සඳහා දායකත්වය ලබා දීමට අඛන්ඩව කටයුතු කරයි.