February, 14, 2026
2026 පෙබරවාරි 12 වැනි දින, යුරෝපා සංගමය (EU) සහ ශ්‍රී ලංකාව විසින් යුරෝපා සංගම්-ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමේ 27 වැනි සැසිවාරය කොළඹදී කැඳවන ලදී.
මිත්‍රශීලී සහ සුහදශීලී වාතාවරණයක් තුළ පැවති මෙම රැස්වීමේදී, ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කරන ලද අතර, පාලනය, සංහිඳියාව සහ මානව හිමිකම්, වෙළඳාම, සංවර්ධන සහයෝගීතාව, අධ්‍යාපනය, ධීවර කටයුතු, සමුද්‍රීය සහයෝගීතාව, පරිසරය, දේශගුණික විපර්යාස, ආරක්ෂක සහයෝගීතාව, නැවත ප්‍රවේශ කිරීම සහ කලාපීය සහ ජාත්‍යන්තර සහයෝගීතාව යන ද්විපාර්ශ්වික උනන්දුවක් දක්වන පුළුල් පරාසයක විහිදුණු ක්ෂේත්‍ර පිළිබඳ අදහස් සහ යාවත්කාලීන තොරතුරු හුවමාරු විය.
මෙම රැස්වීම, ශ්‍රී ලංකාවේ සහ යුරෝපා සංගමයේ වත්මන් දේශපාලන හා ආර්ථික වර්ධනයන් පිළිබඳ සාකච්ඡා කිරීමට දෙපාර්ශ්වයටම ඉඩ සැලසූ අතර, ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ, ක්‍රියා පටිපාටි වැඩිදියුණු කිරීම් සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය විසින් ගනු ලබන නීති සම්පාදන මුලපිරීම් පිළිබඳ යාවත්කාලීන කිරීම් අවධාරණය කළේය.
2025 මැයි 5 වැනි දින පැවැති පාලනය, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ යුරෝපා සංගම්-ශ්‍රී ලංකා ක්‍රියාකාරී කණ්ඩායමේ, 2025 නොවැම්බර් 13 වැනි දින පැවැති වෙළඳ හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ සහ 2026 පෙබරවාරි 11 වැනි දින පැවැති සංවර්ධන සහයෝගීතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ කටයුතු, ඒකාබද්ධ කොමිසම විසින් සමාලෝචනය කරන ලදී.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කිරීම, මාර්ගගත ආරක්ෂණ පනත (OSA) සංශෝධනය, සුළු ජාතීන්ගේ අයිතිවාසිකම්, කාන්තාවන්, ළමා හා කම්කරු අයිතිවාසිකම්, අල්ලස හා දූෂණයට එරෙහිව සටන් කිරීමට ගෙන ඇති පියවර සහ අදහස් ප්‍රකාශ කිරීමේ සහ සංගමයේ නිදහස ඇතුළු ප්රජාතන්ත්රවාදය, පාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් යන ක්ෂේත්රවල ශ්‍රී ලංකාවේ මෑත කාලීන වර්ධනයන් කෙරෙහි ඒකාබද්ධ කොමිසමේ සාකච්ඡාවල අවධානය යොමු විය.
ප්රතිසන්ධාන ක්‍රියාමාර්ග ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා ගනු ලබන පියවර සහ විශේෂයෙන්, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP), හානිපූරණය සඳහා වන කාර්යාලය (OR) සහ ජාතික සමගිය සහ ප්රතිසන්ධාන සඳහා වන කාර්යාලය යන ස්වාධීන ජාතික ආයතන විසින් ඉටු කරනු ලබන ශක්තිමත් කාර්යභාරය පිළිබඳව ශ්‍රී ලංකාව, යුරෝපා සංගමයට දැනුම් දුන්නේය.
නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ ධීවර පිළිවෙත් වැළැක්වීමේ සහ ඒ සඳහා අනුබල නොදීමේ මෙන්ම ධීවර ක්ෂේත්රයේ කැපවීම්වලට ගරු කිරීමේ අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශ්වය එකඟ වූහ. එමෙන්ම, Erasmus+ සහ Horizon Europe වැඩසටහන් හරහා උසස් අධ්‍යාපනය, පර්යේෂණ සහ තාක්ෂණික සහයෝගීතාවයේ හවුල්කාරීත්වය පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳව දෙපාර්ශ්වයම සාකච්ඡා කළහ. පාරිසරික සහ දේශගුණික සහයෝගීතාව මෙන්ම සංක්‍රමණ සහ නැවත ඇතුළත් කිරීමේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ද ඵලදායී අදහස් හුවමාරු කිරීම් සිදු විය.
GSP+ ක්‍රමය පිළිබඳ නව රෙගුලාසි සම්බන්ධයෙන් යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව දැනුවත් කෙරිණි. රටේ තිරසාර සංවර්ධනය සඳහා GSP විශේෂ දිරි දීමනා විධිවිධානය (GSP+) දක්වන දායකත්වය ශ්‍රී ලංකාව අගය කළ අතර වත්මන් චක්‍රය අවසන් වූ පසු නැවත එම යෝජනා ක්‍රමය සඳහා අයදුම් කිරීමට අදහස් කරන බව ද දැන්වීය. ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූලව, විශේෂයෙන් ත්‍රස්ත විරෝධී නීති සම්පාදනය කිරීමේ කටයුතු ඇතුළුව, වත්මන් GSP+ යටතේ ඇති කැපවීම් කාලානුරූපව ඉටු කිරීමේ වැදගත්කම යුරෝපා සංගමය අවධාරණය කළේය. මේ සම්බන්ධයෙන්, යුරෝපා සංගමය, ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ නිසි ආයතන සමඟ කටයුතු කිරීම දිරිමත් කළේය. වත්මන් GSP+ යෝජනා ක්‍රමය යටතේ මූලික සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව දක්වන සිය කැපවීම ද මෙහිදී අවධාරණය කෙරිණි. ප්‍රගතිය පිළිබඳ නිතිපතා යාවත්කාලීන කිරීම් සැපයීම යුරෝපා සංගමය විසින් දිරිමත් කරන ලදී.
යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව නීති මත පදනම් වූ ජාත්‍යන්තර නියම, ඵලදායී බහුපාර්ශ්විකත්වය සහ ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය ආරක්ෂා කිරීමට දක්වන කැපවීම නැවත අවධාරණය කළහ. නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා ඔවුන්ගේ ඵලදායී මැදිහත්වීම පිළිබඳව දෙපාර්ශ්වයම සඳහන් කළ අතර, එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියේ (UNCLOS) වැදගත්කම ද අවධාරණය විය.
යුරෝපා කණ්ඩායම සමඟ ගෝලීය ද්වාර උපාය මාර්ගය (Global Gateway) යටතේ වැඩිදුර ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට දෙපාර්ශ්වය එකඟ වූහ. මේ සම්බන්ධයෙන්, යුරෝපා සංගමය, එහි පෞද්ගලික අංශයේ සහභාගීත්වයට සහාය වීම සඳහා දක්වන උනන්දුව සහ කැපවීම තහවුරු කළේය.
ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය, ආරක්ෂක ක්ෂේත්රයේ සහ විශේෂයෙන් ඉන්දු-පැසිෆික් කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ ක්‍රම ගවේෂණය කළහ.
2027 දී බ්‍රසල්ස් හි දී මීළඟ ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම කැඳවීමට එකඟතාව පළ විය.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා සහ යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ, ආසියාව සහ පැසිෆික් කලාපය සඳහා වැඩබලන කළමනාකාර අධ්යක්ෂ පාඕලා පැම්පලෝනි මෙම රැස්වීමේ සම සභාපතිත්වය දැරූහ.
Video Story