‘සෙලාන් ටිකිරි’ වෙතින් දරුවන් වෙනුවෙන් ප්‍රථම වරට දීපව්‍යාප්ත මූල්‍ය සාක්ෂරතා වැඩසටහනක්

    February, 17, 2026

    සෙලාන් බැංකුව අඛණ්ඩව 12 වන වරටත් ‘ලෝක ළමා මාසය’ සැමරීම සඳහා දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් සංවිධානය කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළමා ඉතුරුම් ගිණුම වන ‘සෙලාන් ටිකිරි’ සන්නාමය යටතේ මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරන ලද අතර, මෙරට බැංකුවක් ලෝක ළමා දිනය වෙනුවෙන් මෙබඳු ජාතික මට්ටමේ සැමරුම් මාලාවක් දියත් කළ ප්‍රථම අවස්ථාව මෙයයි.  දරුවන්ට මූල්‍ය සාක්ෂරතාව සම්බන්ධ මූලිකාංග හඳුන්වා දීම අරමුණු කරගත් විශේෂාංග රැසක් මෙම වැඩසටහන් මාලාවට ඇතුළත් විය.

    මෙහිදී සෙලාන් බැංකුව විසින් දරුවන්ට ඉතිරිකිරීම, වියදම් කිරීම සහ ආයෝජනයේදී මූලික අවදානම් කළමනාකරණය වැනි ප්‍රධාන සංකල්ප හඳුන්වා දෙන ලද අතර, ඒ ඔස්සේ මුදල් සම්බන්ධ ප්‍රායෝගික පුරුදු අවබෝධ කරගැනීමට අවශ්‍ය පැහැදිලි මඟපෙන්වීමක් ලබාදෙන ලදී. ආරම්භයේ සිටම ඉදිරිගාමී සහ වගකීම් සහගත ආකල්ප වර්ධනය කරවමින් දරුවන්ගේ ජීවිතවලට සැබෑ වටිනාකම් එක්කිරීම මෙහි මූලික අරමුණ විය. එමෙන්ම මේ යටතේ මූල්‍ය අධ්‍යාපනය වඩාත් විනෝදාත්මක අත්දැකීමක් බවට පත්කිරීම සඳහා Derana 24/7 TV සහ Capital TV සමග එක් වී නර්තන හා ගායන ඇතුළු වැඩසටහන් පෙළක්ද සංවිධානය කරන ලදී.

    මීට අමතරව සෙලාන් බැංකුව Child Protection Force ආයතනය සමඟ එක් වී “Safe and Strong Children – A Child Protection Awareness Program” නමින් තවත් විශේෂ වැඩසටහනක්ද මීට සමගාමීව දියත් කළේය. ඒ යටතේ ළමා ආරක්ෂණ අධිකාරියේ උපදේශකවරුන් විසින් මාර්ගගත සහ මාර්ගගත නොවන ක්‍රම ඔස්සේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීම් සිදුකරන ලදී. මෙය දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සෙලාන් බැංකුව දක්වන උනන්දුව මැනැවින් පිළිබිඹු කළ අවස්ථාවක් විය.

    ලෝක ළමා මාසය වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම වැඩසටහන්, රටේ සියලුම පළාත්වල සෙලාන් පැහැසර පුස්තකාල පිහිටි පාසල් අතරින් තෝරාගත් පාසල් කිහිපයකදී පවත්වන ලදී. අදාළ පළාත්වල සෙලාන් ටිකිරි ගිණුම් හිමි දරුදැරියන් රාශියක් මෙම වැඩසටහන්වලට සහභාගී වූහ. දරුවන් සවිබල ගැන්වීම සහ ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීම සම්බන්ධයෙන් සෙලාන් බැංකුව දක්වන උනන්දුව මැනැවින් නිරූපණය කරන වැඩසටහනක් වන ‘සෙලාන් පැහැසර’ යටතේ තෝරාගත් පාසල් පුස්තකාලවලට පොත්පත් සහ උපකරණ ලබාදීම මෙන්ම ඒවා නඩත්තු කිරීමද සිදුකරනු ලබයි.

    "සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස, දරුවන් අනාගතයට සූදානම් කරවීමේ වටිනාකම අප හොඳින් දන්නවා. ලෝක ළමා මාසය වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම වැඩසටහන් මාලාව මෙන්ම අප විසින් ක්‍රියාවට නංවා ඇති තවත් වැඩසටහන් රාශියක් ඔස්සේ සදාචාරාත්මක සහ වගකීම්සහගත මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් දරුවන්ගේ අවබෝධය වැඩිදියුණු කිරීමට අප නිරන්තරයෙන් උත්සාහ කරනවා. ඉතිරිකිරීම මඟින් තම අනාගතය සුරක්ෂිත වන අතරම රටටද යහපතක් සිදුවන ආකාරය දරුවන්ට පෙන්වා දීම අපගේ ඉලක්කයයි. දරුවන්ගේ ජීවිතවලට  අත්‍යවශ්‍ය මූල්‍ය දැනුම සහ කුසලතා ඔවුන් තුළ වර්ධනය කරවීමේ උත්සාහය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සෙලාන් බැංකුව සූදානම්." සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා පැවසීය.

    මෙම වැඩසටහන්වලට සිසු සිසුවියන් විශාල පිරිසක් සහභාගී වූ අතර, දෙමාපියන් සහ ගුරුවරුන් වෙතින් එයට ඉතාමත් උණුසුම් ප්‍රතිචාර සහ ඇගයීම් හිමි විය. දරුවන් අතර යහපත් ඉතිරි කිරීමේ පුරුදු ඇතිකරවීම, ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීම සහ දරුවන්ගේ සතුට වර්ධනය කිරීම සඳහා වසර 37 ක් පුරා සෙලාන් බැංකුව දැක්වූ උනන්දුව හා කැපවීම තවත් එලෙසින්ම ක්‍රියාත්මක බව මෙබඳු වැඩසටහන් මඟින් මැනැවින් තහවුරු වේ.

    දරුවන් කුඩා අවධියේදීම ඔවුන් තුළ නැණවත් මූල්‍යමය පුරුදු වර්ධනය කරවීමේ අරමුණින්, මූල්‍ය සාක්ෂරතාව වඩාත් සරල, ප්‍රායෝගික සහ විනෝදාත්මක අත්දැකීමක් බවට පත්කරන දැනුම සහ මෙවලම් ඔවුන් වෙත ලබාදීමට සෙලාන් බැංකුව දිගින් දිගටම පියවර ගනිමින් සිටී. වයස අවුරුදු 15 ට අඩු දරුවන් වෙනුවෙන් සෙලාන් ටිකිරි ගිණුමක් විවෘත කිරීම මඟින් දෙමාපියන්ටද මෙම ගමනට දායක විය හැකි අතර, එමඟින් ඔවුන්ට තම දරුවන්ගේ ඉතිරි කිරීම දිරිගන්වන ප්‍රතිලාභ රැසක්ද හිමි වනු ඇත.