February, 17, 2026
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව ඉහළ නැංවීම ඉලක්ක කරගනිමින් රජයේ නිලධාරීන් වෙනුවෙන් කෘතිම බුද්ධිය (AI) පිළිබඳ විශේෂ සතිඅන්ත කෙටි පාඨමාලාවක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම රැස්වීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
කැනබරා විශ්ව විද්‍යාලය (University of Canberra), ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (KDU) සහ AION Campus යන ආයතන ශ්‍රී ලංකා රජය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවයි. මෙහිදී අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, සාමාන්‍යයෙන් බුද්ධිමය සේවාවන්හි නිරතවන්නෙකු තොරතුරු සෙවීම සඳහා පමණක් සතියකට පැය තුනකට වඩා වැය කරන බවත්, එය වසරකට ගණනය කළ විට සම්පූර්ණ මාසයක ඵලදායිතාව අහිමි වීමක් බවත්ය. කෘතිම බුද්ධිය භාවිතය හරහා මෙම කාලය ඉතිරි කරගෙන, වඩාත් ගුණාත්මක ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීම මෙම වැඩසටහනේ මූලික අපේක්ෂාව වේ.
රජයේ නිලධාරීන් සඳහා වන මෙම සතිඅන්ත AI කෙටි පාඨමාලාව හඳුන්වා දෙන ක්‍රමවේදය, එහි අන්තර්ගතය සහ සමස්ත පුහුණු ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය. විශේෂයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ පූර්ණ සම්බන්ධීකරණය සහ නායකත්වය යටතේ රාජ්‍ය අංශය නවීන ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම මෙහිදී ප්රමුඛ කාර්යයක් ලෙස හඳුනා ගැනිණි.නූතන තාක්ෂණික මෙවලම් රාජ්‍ය පරිපාලනයට බද්ධ කිරීම මගින් තීරණ ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමත්, රාජ්‍ය සේවකයින්ගේ වෘත්තීය නිපුණතාව ඉහළ නැංවීමත් මෙම පුහුණු වැඩසටහන හරහා සිදුවනු ඇත.
ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාල සහ දේශීය ආරක්ෂක විශ්වවිද්‍යාලය සමඟ එක්ව ක්‍රියාත්මක කරන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මෙරට රාජ්‍ය සේවය නවීකරණය කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ. මෙම සාකච්ඡාව සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ කැනබරා විශ්ව විද්‍යාලයෙහි (University of Canberra), ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙහි (KDU) සහ AION Campus හි නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
Video Story