February, 17, 2026
ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි බහුපාර්ශ්වීය සංවර්ධන ආයතනවලින් ලැබෙන අතරමැදි මූල්‍ය පහසුකම් සලසා ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය අංගයක් වශයෙන් හඳුනා ගනු ලැබ ඇත.
ඒ අනුව, ආර්ථික ප්‍රතිසාධනය සහ ස්ථාවරත්වය සඳහා වන මූලික ප්‍රතිසංස්කරණයන්ට සහායක් වශයෙන් ලෝක බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක වූ ඔරොත්තු දීම, ස්ථාවර හා ආර්ථික හැරවුම (RESET) සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් මාලාව (Development Policy Operations - 2023-2024) යටතේ ශ්‍රී ලංකා රජය වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක අරමුදල් මේ වන විට ලබා දී ඇත.
රටේ ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට තවදුරටත් සහාය වෙමින්, ශ්‍රී ලංකාවේ තරගකාරිත්වය හා විවෘතභාවය ඉහළ නැංවීම, ආර්ථික යහපාලනය වැඩිදියුණු කිරීම සහ එමඟින් ශක්තිමත් හා වඩාත් තිරසර ආර්ථික වර්ධනයක් ඇති කිරීම අරමුණු කරගනිමින්, 2026-2028 කාලසීමාව ආවරණය වන පරිදි වසර 03ක වැඩසටහනක් වන ශ්‍රී ලංකාවේ වර්ධනය, ඔරොත්තු දීම සහ විවෘතභාවය යන වැඩසටහන්මය ප්‍රතිසංස්කරණ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් මාලාව හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිබේ.
තරගකාරිත්වය වර්ධනය කිරීම හා ආර්ථික යහපාලනය වැඩිදියුණු කිරීම යන ප්‍රධාන ස්ථම්භ දෙකක් යටතේ එකී මෙහෙයුම් මාලාව සකස් කරනු ලැබ ඇත. ඒ අනුව, ලෝක බැංකුව වෙතින් අදාළ අරමුදල් පහසුකම සලසා ගැනීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.