February, 17, 2026
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව සතු වත්තල, කෙරවලපිටිය පිහිටි අක්කර 400ක පමණ වගුරු බිම් ප්‍රමාණයක් විශාල වියදමක් දරා මුහුදු වැලි පොම්ප කිරීමෙන් අනතුරුව සංවර්ධනය කරනු ලැබ ඇත.
එකී සංවර්ධනය කරන ලද ඉඩමෙන් සැලකිය යුතු බිම් ප්‍රමාණයක් ජාතික වශයෙන් වැදගත්කමකින් යුත් රජයේ ආයෝජන මෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමත පෞද්ගලික ආයෝජනයන් සඳහා බැහැර කරනු ලැබ තිබේ.
ඩීඑච්ටී සිමෙන්ති (පුද්ගලික) සමාගම විසින් දේශීය සහ අපනයන වෙළෙඳපොළ සඳහා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිත ෆයිබර් සිමෙන්ති රැළි සහිත සෙවිලි තහඩු, ෆයිබර් සිමෙන්ති පැතලි සෙවිලි තහඩු සහ උපාංග නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීම සඳහා වත්තල, කෙරවලපිටිය ප්‍රදේශයෙන් අක්කර 3-5 පමණ බිම් ප්‍රමාණයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කරනු ලැබ ඇත.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පවර්ටෙක් ප්‍රඩක්ට්ස් (පුද්ගලික) සමාගම නමින් නව සමාගමක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධිවිධාන අනුව ස්ථාපිත කර ඇති අතර, ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 7ක් එම සමාගම විසින් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇත.
එකී ව්‍යාපෘතිය සඳහා, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව සතු වත්තල, කෙරවලපිටියෙහි පිහිටි ඉඩමෙන් අක්කර 03 රූඩ් 01 පර්චස් 0.95 වන ඉඩම් කොටස රුපියල් මිලියන 272.20ක එකවර ගෙවනු ලබන බදු මුදලක් ගෙවීමට සහ වාර්ෂික නාමික බදු කුලිය රුපියල් 83,500/-ක් ගෙවීමට යටත්ව පවර්ටෙක් ප්‍රඩක්ට්ස් (පුද්ගලික) සමාගම වෙත වසර 30ක කාලසීමාවක් සඳහා බදු පදනම මත ලබා දීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story