IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා දිට්වා සුළිකුණාටුවෙන් නාය යාමට ලක්වූ ස්ථාන නීරීක්ෂණය කරයි

    February, 17, 2026

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර අද (17) දිට්වා සුළිකුණාටුව සමයේ නාය යාමට ලක්වූ උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවතුර ග්‍රාමයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූවාය.

    මෙම ජාතික ව්‍යසනයේදී ඉතාම සංවේදී කලාපයක් ලෙස සැලකූ මාවතුර ප්‍රදේශයේ නිවාස රැසක් නාය යාමට ලක්ව 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් හය දෙනෙකු අතුරුදන් විය.

    විපතට පත් ජනතාව සමග අදහස් හුවමාරු කරගත් ජෝර්ජිවා මහත්මිය, ඔවුන්ට සිය සංවේගය පළ කළාය. මෙවැනි ව්‍යසනකාරි අවස්ථාවකදී රජය ක්‍රියාත්මක කළ කඩිනම් සහන වැඩපිළිවෙල පිළිබඳව සතුට පළ කළ ජෝර්ජිවා මහත්මිය එහිදී ජනතාව දැක්වූ අසීමිත ධෛර්යය, කැපවීම හා එකමුතු බවද අගය කළාය.

    දැන් මෙහි සිටින කුඩා දරුවන් රටේ අනාගත ප්‍රගතිය වෙනුවෙන් හෙට දවසේ විශාල දායකත්වයක් දෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඒ අරමුණ සාර්ථක කරගැනීම සඳහා රජය ළමා පරපුර සවිබල ගැන්වීමට කැපවී කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බවද විපතට පත් පවුල්වල දරුවන් අමතමින් ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සඳහන් කළාය.

    මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්, මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ජී.එච්.එම්. ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහත්වරු සහභාගි වූහ.