භාෂා සහ මතවාදයන් කිහිපයකට පමණක් AI තාක්ෂණය සීමා වීමේ අවදානම ජනපති අනුර නවදිල්ලියේ දී අවධාරණය කරයි

    February, 19, 2026

    ලෝක මට්ටමේ AI තාක්ෂණය, භාෂා සහ මතවාදයන් කිහිපයකට පමණක් සීමා වීම හරහා අපගේ අනන්‍ය වූ සංස්කෘතික විවිධත්වය ගිලිහී යාමේ අවදානමක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact Summit 2026 ට සමාගාමීව පැවති රාජ්‍ය නායක සැසිවාරයක දී ජනාධිපතිවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි රටවල්වලට තම භාෂාවන් සහ සංස්කෘතීන් යනු ගෞරවය මෙන්ම විශ්වාසයේ පදනම බවයි. මෙවැනි සංස්කෘතික ගැළපීමක් සාක්ෂාත් කරගැනීම සඳහා පුළුල් අන්තර්ග්‍රහණය සහ සංරක්ෂණය සිදුවීම අවශ්‍ය බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කළ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.

    කෘතිම බුද්ධිය විසින් ආර්ථිකයන්, රාජ්‍ය පාලන පද්ධති හා සමාජයන් වෙනස් කරමින් පවතින මේ සුවිශේෂී මොහොතේ, නවදිල්ලියේ දී ඔබත් සමග එක්වීමට ලැබීම මට මහත් ගෞරවයක්. AI තාක්ෂණය, පසුගිය සියවස්වල කාර්මිකරණය විසින් ඇති කළ ආකාරයටම ජාතික වර්ධන ගමන් මග කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇතිකරන පරිවර්තනීය බලවේගයක්.

    නමුත් AI තාක්ෂණයෙන් සවිමත් රටවල් සහ එවැනි හැකියාවන් නොමැති රටවල් අතර වැඩිවෙමින් පවතින පරතරය බොහෝ රටවල් ඩිජිටල් ආර්ථිකයෙන් වියුක්ත කිරීමේ බරපතළ අවදානම් නිර්මාණය කරනවා. මේ ආකාරයට පසුබසින රටවල් ගෝලීය වර්ධනයෙන් සහ නව ආර්ථික අවස්ථාවලින් තවදුරටත් විවිධ අතුරු බලපෑමට ලක්විය හැකියි. එමගින් අප අපේක්ෂා කරන සියලු දෙනා ඇතුළත් සාධාරණ සහ තිරසාර සංවර්ධන අරමුණු ද අවදානමට ලක්වෙනවා. 

    බොහෝ නැගී එන ආර්ථිකයන් මෙන්ම ශ්‍රී ලංකාවත් AI සම්පූර්ණ ලෙස භාවිත කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් තවමත් සම්පූර්ණ කරගෙන නැහැ. ඒ නිසා නිසි අභිප්‍රාය සහ දැක්ම සමඟින් අප විශ්වාසයකින් හ නොපැකිළව ක්‍රියා කළ යුතු තීරණාත්මක මොහොතක් එළැඹිලා තිබෙනවා.

    තරුණ තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ මානව සම්පතක් ශ්‍රී ලංකාව සතුව තිබෙනවා. ඒවගේම අපට ශක්තිමත් නීතීන් පද්ධතියක් සහ ජාත්‍යන්තර හවුල්කාරීත්වයන් සමඟ බැඳුණු ආර්ථික සංස්කෘතියක් ද තිබෙනවා. අපි පෞද්ගලික දත්ත ආරක්ෂණය සහ සයිබර් ආර්ක්ෂණය පිළිබඳ නීතිමය රාමු නවීකරණය කරමින් ඩිජිටල් පොදු යටිතල පහසුකම් සඳහා අඛණ්ඩ ආයෝජනය කරමින් නවෝත්පාදන දිරිමත් කරන මහජන විශ්වාසය රැකගත හැකි ආයතන ශක්තිමත් කරමින් සිටිනවා.

    ලෝකයේ අද AI තාක්ෂණයේ අභිප්‍රායන්, අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳ විවාද කරමින් සිටිනවා. එහෙත් මෙහිදී මෙතෙක් මහහැරී ගිය තීරණාත්මක පැතිකඩක් පෙන්වා දීමට කැමතියි. එනම් සංස්කෘතික ගැළපීමයි. මානව සංහතියේ සංස්කෘතික වටිනාකම් සහ හැකියාවන් තවදුරටත් ප්‍රවර්ධනයට මේ තාක්ෂණයන් ඉවහල් කරගත යුතුයි. 

    ලෝක මට්ටමේ AI තාක්ෂණය භාෂා සහ මතවාදයන් කිහිපයකට පමණක් සීමා වුණොත් අපගේ අනන්‍ය වූ සංස්කෘතික විවිධත්වය ගිලිහී යාමේ අවදානමක් තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි රටවල්වලට තම භාෂාවන් සහ සංස්කෘතීන් යනු ගෞරවය මෙන්ම විශ්වාසයේ පදනමයි. මෙවැනි සංස්කෘතික ගැළපීමක් සාක්ෂාත් කරගැනීම සඳහා පුළුල් අන්තර්ග්‍රහණය සහ සංරක්ෂණය සිදුවීම අවශ්‍යයි.

    මෙහිදී අපගේ දේශීය භාෂා සහ සංස්කෘතික දැනුම ඩිජිටල්කරණය කර ඒවා කෘතිම බුද්ධිය තුළට බද්ධ කළ යුතුයි. 

    එමෙන්ම ආරක්ෂාව සහ සුරක්ෂිතතාව පිළිබඳව උපරිම අවධානය යොමුවීම වැදගත්, අපගේ සංස්කෘතික වටිනාකම්වලට AI මගින් සිදුවන අහිතකර බලපෑම්වලින් ආරක්ෂා වීමේ පද්ධති ස්ථාපිත කළ යුතු වෙනවා. අපගේ දැක්ම හුදකලා සාර්ථකත්වයක් අත්පත් කර ගැනීම නොවෙයි. ඒකාබද්ධ වීමයි. 

    AI යටිතල පහසුකම් අපි දකින්නේ ආර්ථික සහ සංස්කෘතික සහයෝගීතාවයේ ඊළඟ මායිම ලෙසයි. එම නිසා ශ්‍රී ලංකාව කලාපීය සහයෝගීතාවයක් යෝජනා කරනවා. මෙහිදී එය අඩු වියදමින් ලබා ගත හැකි මධ්‍යගත පාලනයකින් යුත් භාෂා දත්ත කට්ටල, පොදු ඇගයීම් ක්‍රම සහ ආරක්ෂක මෙවලම් මෙන්ම ඒකාබද්ධ ධාරිතා සංවර්ධනය සහ යන මූලික කරුණු 4 මත පදනම් වීම ඉතා වැදගත්.

    මේ ප්‍රයත්නය මගින් AI හි ප්‍රතිලාභ වෙත අප සැමට පුළුල් සහ සාධාරණ ලෙස ප්‍රවේශ විය හැකි බව මාගේ විශ්වාසයයි. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාව ජාතික මෙන්ම කලාපීය මට්ටමේ අවශ්‍යතාද සපුරාලිය හැකි AI හැකියාවන්ගෙන් යුත් දත්ත යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ගවේෂණය කරමින් සිටිනවා. 

    ඩිජිටල් පොදු යටිතල පහසුකම් සහ තාක්ෂණික කුසලතා පිළිබඳව ගෝලීය නායකත්වයන් අත්පත් කරගනිමින් සිටින ඉන්දියාව සහ අනෙකුත් රාජ්‍යයන් සමඟ සමීපව කටයුතු කරමින් තිරසාර ආරක්ෂිත සහ අනාගතයට සූදානම් කලාපයේ AI දත්ත මධ්‍යස්ථාන ධාරිතාවන් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාවට විශාල විභවයක් තිබෙනවා. 

    ගරු සම්භාවනීය අමුත්තනි,

    කිසිදු රටකට AI සඳහා සූදානම් අනාගතයක් තනිව ගොඩනගාගත නොහැකි බව අපගේ වැටහීමයි. ලෝකය හා මෙම කලාපයේ රජ්‍යයන්ගේ අදහස් රැසක් සැලකිල්ලට ගනිමින් අප විසින් නවදිල්ලියේ දී එකඟ වන ඒකාබද්ධ ප්‍රකාශයේ මෙම සහයෝගීතාවයේ වැදගත්කම ඉස්මතු කර තිබීම සතුටට කරුණක්.

    ඒ නිසා කිසිවකු අතුනොහැරෙන සේ සහ ආචාරධර්ම මූලික කරගත් කෘතිම බුද්ධිය පිළිබඳව පොදු වටිනාකම් බෙදාගනිමින්, අන්‍යෝන්‍ය වශයෙන් ඉගෙන ගැනීමට සහ හවුල්ය ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම්.