February, 20, 2026
‘ඩිජිටල් ගනුදෙනු තුලින් අනාගතය හැඩගන්වමු’
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව අතර ඩිජිටල් ගෙවීම් පිළිබඳව දැනුම්වත්භාවය ඇති කරලීමේ අරමුණින් යුතුව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්, ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනක් 2026 පෙබරවාරි 20 සහ 21 යන දිනයන් හිදී එම ප්‍රදේශයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
‘ඩිජිටල් ගනුදෙනු තුලින් අනාගතය හැඩගන්වමු’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වසරේදී දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවක් මූල්‍ය ආයතන සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේද සහයෝගයෙන් හම්බන්තොට, නුවරඑළිය සහ දඹුල්ල යන ප්‍රදේශ ආවරණය කරමින් දියත් කරන ලදී. මෙම වැඩසටහන් හරහා විශාල පිරිසක් තුල ඩිජිටල් ගෙවීම් පිළිබඳ දැනුම්වත්භාවය ඇති කරමින් බොහෝ ව්‍යාපාරයන් සහ පුරවැසියන් හට ඩිජිටල් ගෙවීම් සිදුකිරීමේ පහසුව පිළිබඳව අත්දැකීම් ලබා දීමට හැකි විය.
ඉහත වැඩසටහන් මාලාව ඉදිරියට ගෙන යමින්, ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, බලපත්‍රලාභී ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධති ක්‍රියාකරුවන් සහ ජාතික ගෙවීම් ජාලයේ ක්‍රියාකරු වන ලංකාපේ (පුද්.) සමාගමේ සහභාගීත්වයෙන් කුරුණෑගල නගරය පුරා ඩිජිටල් ගෙවීම් පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ඉහත දෙදින තුල දී පැවැත්වෙනු ඇත.
මෙම වැඩසටහන සඳහා සහභාගී වන මූල්‍ය ආයතන විසින් ව්‍යාපාරික ආයතන වලට LANKAQR ගෙවීම් ක්‍රමවේදය ලබා දීම සඳහා අවශ්‍ය මග පෙන්වීම සහ සහාය ලබා දීම සිදු කරනු ඇත. තවද ඔවුන් විසින් මහජනතාව හට ජංගම ගෙවීම් යෙදුම් සහ මාර්ගගත බැංකුකරණය වැනි ඩිජිටල් ගෙවීම් සේවාවන් සඳහා ලියාපදිංචි වීමටද සහාය වනු ඇත. කුරුණෑගල ප්‍රදේශයේ ප්රමුඛ පෙළේ වෙළඳසැල්ද සිය ගනුදෙනුකරුවන් අතර ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන හා සම්බන්ධ වනු ඇත.
මූල්‍ය ආයතනවල මග පෙන්වීම සහ සහාය තුලින් ඩිජිටල් ගෙවීම් පිළිබඳ සිය දැනුම වැඩි දියුණු කර ගැනීමට සහ ඩිජිටල් ගෙවීම් සිදුකිරීමේ පහසුව සහ ආරක්ෂාව අත්විඳීමට මෙම අවස්ථාව සඳහා සහභාගී වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව සහ ව්‍යාපාරික ප්‍රජාව වෙත ආරාධනා කරයි.