රු. 5,000ට අඩු QR ගනුදෙනු සඳහා ඉදිරියේ දී ගාස්තු අය නොකිරීමට තීරණයක්

    February, 20, 2026

    QR හරහා සිදුකරන ගනුදෙනුවල දී ඉදිරියේ දී රු. 5,000ට වඩා අඩු වටිනාකමින් යුතු ගනුදෙනු සඳහා අතිරේක ගාස්තු අය නොකිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 

    කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව අතර ඩිජිටල් ගෙවීම් පිළිබඳව දැනුම්වත්භාවය ඇති කරලීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් අද (20) පෙරවරුවේ පැවති අතර එහිදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය. 

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

    “ඩිජිටල් ගනුදෙනු ආකාර කිහිපයක් තියෙනවා. කාඩ්වලින් ගනුදෙනු කරන කොට, ගනුදෙනු කරන ස්ථානයේ POS machine හෝ වෙනත් ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඒකට යම්කිසි මුදලක් වැයවෙනවා. නමුත් අපි දකිනවා ඒ සඳහා යම්කිසි මට්ටමක තිබෙන ව්‍යාපාර ඒ කටයුතු පහසුවෙන් කරගෙන යනවා. ඒත් එක්කම ගෙවීම සඳහා යන වියදම යම්කිසි ආකාරයකින් පොඩි වියදමක් වුණත්, කමිෂං එක යම්කිසි ආකාරයක මුදලක් ගෙවන්න වෙනවා. POS machine එකක් අරගෙන කටයුතු කිරීම, ගනුදෙනු පියවීම,  ඒක කාඩ් එකක් නම් ඒක වෙන්නේ මාස්ටර් හෝ විසා හෝ ලංකාපේ හරහා වන නිසා යම්කිසි පොඩි වියදමක් යනවා. නමුත් ඒ වියදම ගැන බැලුවාම, ඊටත් වඩා විශාල වාසියක්, පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට තියෙනවා. එතනින් පිටතට ගියාම ප්‍රාදේශීය මට්ටමින් ගියත් සුපර්මාර්කට්වල සමහරක් කඩවල POS machine එක තියෙනවා. නමුත් හැම තැනම ඒක නැහැ. ඒක නැත්නම් ඊටත් වඩා පහසු දේ තමයි මේ QR පේමන්ට් එක.  QR පේමන්ට් එක් පළවෙනි එකේ අර වගේ මූලික වියදමක් දරලා මැෂින් එකක් තමන් ලඟ තියා ගන්න ඕනේ නැහැ ගනුදෙනු කරන්න. දෙවෙනි එක ගනුදෙනුවට යන වියදම, දැන් ඉස්සරහාට මම හිතන්නේ රු. 5,000ට අඩු ඒවාට අපි කිසිම අයකිරීමක් කරන්නේ නැතුව කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ළඟදීම ක්‍රියාත්මක වෙනවා. එතකොට ගනුදෙනුව සඳහා යන වියදම ඉතාම අඩු හෝ වියදමක් නැහැ. එක පැත්තකින් ව්‍යාපාරය කරන පුද්ගලයටත් ඒ වියදම බලපාන්නේ නැහැ, ගෙවීම් කරන පුද්ගලයටත් වියදම බලපාන්නේ නැහැ. එහෙම වියදම අතින් බැලුවාම, ඉතාම අඩුම වියදම් ගෙවීම් ක්‍රමය තමයි QR පේමන්ට් කියන එක.“

    ඩිජිටල් ගනුදෙනු තුලින් අනාගතය හැඩගන්වමු’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වසරේදී දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් මූල්‍ය ආයතන සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේද සහයෝගයෙන් හම්බන්තොට, නුවරඑළිය සහ දඹුල්ල යන ප්‍රදේශ ආවරණය කරමින් දියත් කරන ලදී. මෙම වැඩසටහන් හරහා විශාල පිරිසක් තුල ඩිජිටල් ගෙවීම් පිළිබඳ දැනුම්වත්භාවය ඇති කරමින් බොහෝ ව්‍යාපාරයන් සහ පුරවැසියන් හට ඩිජිටල් ගෙවීම් සිදුකිරීමේ පහසුව පිළිබඳව අත්දැකීම් ලබා දීමට හැකි විය.

    ඉහත වැඩසටහන් මාලාව ඉදිරියට ගෙන යමින්, ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, බලපත්‍රලාභී ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධති ක්‍රියාකරුවන් සහ ජාතික ගෙවීම් ජාලයේ ක්‍රියාකරු වන ලංකාපේ (පුද්.) සමාගමේ සහභාගීත්වයෙන් කුරුණෑගල නගරය පුරා ඩිජිටල් ගෙවීම් පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන අද (20) සහ හෙට (21) දෙදින තුල දී පැවැත්වෙනු ඇත.