‘ට්‍රම්ප් බද්ද’ යළි කරළියට

    February, 21, 2026

    ගෝලීය වෙළෙඳ ආර්ථිකය වෙත තවත් ආන්දෝලනාත්මක බලපෑමක් ඇති කරමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, ආනයන සඳහා 10%ක නව අතිරේක තීරු බද්දක් අය කිරීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර තිබේ. ආනයන සඳහා ඒකපාර්ශ්විකව තීරුබදු නියම කිරීමට තමාට බලයක් නොමැති බවට ඊයේ (20) දින ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට ආවේගශීලීව ප්‍රතිචාර දක්වමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

    ලොව අනෙකුත් රටවල් ඇමරිකාව සමඟ පවත්නා වෙළෙඳ පරතරය අනුව නව තීරු බදු පැනවීමක් 2025 අප්‍රේල් මාසයේ ජනාධිපති ට්‍රම්ප් විසින් නිවේදනය කළේය. එහිදී ශ්‍රී ලංකාවට 44%ක තීරු බදු අය කෙරන බව ප්‍රකාශ කෙරිණි.

    කෙසේ නමුත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පැවති සාකච්ඡාවලින් අනතුරුව එම ප්‍රතිශතය 2025 ජූලි මාසයේ දී 30%ක් දක්වාත්, ඉන් අනතුරුව 2025 අගෝස්තු මාසයේ දී 20%ක් දක්වාත් පහත හෙළා ගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් සමත්විය. එහිදී ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර පවතින වෙළෙඳ පරතරය අඩුකර ගැනීම වෙනුවෙන් ඇමරිකාවෙන් බොර තෙල් සහ ගෑස් මිල දී ගැනීම වැනි එකඟතාවයන්ට එළඹීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

    මේ අතර ජනාධිපති ට්‍රම්ප් විසින් නිවේදනය කර ඇති නව 10%ක ගෝලීය තීරු බද්දත් සමඟින් ශ්‍රී ලංකාවට බලපවත්නා 20%ක තීරු බදු ප්‍රතිශතය 30%ක් දක්වා ඉහළ යාමේ අවදානමක් පැනනගිනු ඇත.