Fems H.E.R Foundation සහ Teejay Lanka PLC එක් වී ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ මෙහෙවරක

    February, 23, 2026

    Fems හි පිටුබලය සහිත H.E.R Foundation විසින් මෑතකදී Teejay Lanka PLC සමඟ එක් වී රුවන්වැල්ල රාජකීය විද්‍යාලයේදී ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි. මෙය පවත්වන ලද්දේ මෙරට ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරන සුවිශේෂී මෙහෙවරක තවත් පියවරක් වශයෙනි. මේ යටතේ එම පාසලේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමටද පියවර ගන්නා ලද අතර, පාසල් ශිෂ්‍යාවන්ට තම ඔසප් සෞඛ්‍ය අවශ්‍යතා කළමනාකරණය කරගැනීමට අත්වැලක් වන අතරම සමාජය තුළ ඔසප් සෞඛ්‍ය පිළිබඳ කතාබහ සාමාන්‍ය දෙයක් පත්කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය.

    මෙම හවුල්කාරීත්වය යටතේ Teejay Lanka විසින් සියලු වියදම් දරමින් පාසල තුළ වැසිකිළි පහසුකම් ඉදිකරන ලද අතර, H.E.R Foundation විසින් සිසුවියන් හා දෙමාපියන් දැනුවත් කිරීම සිදුකරන ලදි.

    පාසල් තුළ නිසි සනීපාරක්ෂක පහසුකම් නොමැති වීම සහ ඔසප් සෞඛ්‍ය සම්බන්ධයෙන් නිසි දැනුමක් නොමැති වීම යනු මෙරට ශිෂ්‍යාවන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලු දෙකකි. මෙම ගැටලු හේතුවෙන් ඔසප් වන කාලසීමාවන් තුළ ශිෂ්‍යාවන් පාසල් යාමෙන් වැළකී සිටීමට පෙළඹී සිටිති. මෙම සාමූහික ප්‍රයත්නයේ අරමුණ වන්නේ මෙම ගැටලුවලට සාර්ථක විසඳුමක් ලබාදීමය.

    Fems විසින් ආරම්භ කරන ලද H.E.R Foundation වැඩසටහන Help, Empower සහ Rise, යන අංශ තුන මූලික කරගනිමින් ක්‍රියාත්මක වේ. එම වැඩසටහන මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඔසප් සෞඛ්‍යය සම්බන්ධයෙන් පවතින සාම්ප්‍රදායික තහංචි බිඳදැමීම සඳහා පුරෝගාමී කාර්යභාරයක් ඉටුකරමින් සිටී. H.E.R Foundation  මඟින් මේ දක්වා රට පුරා කර්මාන්තශාලා, වතු ආශ්‍රිත ප්‍රදේශ, විශ්ව විද්‍යාල, පාසල් සහ බන්ධනාගාර වැනි ස්ථානවල පවත්වන ලද අධ්‍යාපනික වැඩසටහන් මඟින් කාන්තාවන් සහ ගැහැනු දරුවන් 300,000 කට අධික සංඛ්‍යාවක් දැනුවත් කර ඇත.

    රුවන්වැල්ල රාජකීය විද්‍යාලයේ නව වැසිකිළි පහසුකම් විවෘත කිරීමෙන් අනතුරුව ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසි දෙකක් පවත්වන ලදි. හෙදියක විසින් පවත්වන ලද මෙම සැසි දෙකට ශිෂ්‍යාවන් සහ දෙමාපියන් 400 කට ආසන්න පිරිසක් සහභාගී වූහ.  ශිෂ්‍යාවන් වෙනුවෙන් පවත්වන ලද සැසියේදී ඔසප් චක්‍රය අවබෝධ කර ගැනීම, නිසි සනීපාරක්ෂාව පවත්වා ගැනීම සහ ආරක්ෂිත හා විවෘත පරිසරයක් තුළ මිථ්‍යා මත සහ සමාජ අපවාද සඳහා විසඳුම් සෙවීම යන කරුණු සම්බන්ධයෙන් මූලික වශයෙන් අවධානය යොමු විය. දෙමාපියන් වෙනුවෙන් පවත්වන ලද සැසියේදී ගැහැනු දරුවන්ට විශ්වාසයෙන් හා ආත්ම ගරුත්වයෙන් යුතුව ඔසප් වීම කළමනාකරණය කරගැනීම සඳහා විවෘත සන්නිවේදනය, නිවැරදි තොරතුරු සහ පවුලේ සහයෝගය කෙතරම් වැදගත්ද යන්න අවධාරණය කරන ලදී.

    මෙම දැනුවත් කිරීමේ සැසි H.E.R. Foundation සමාජ මෙහෙවරේ කේන්ද්‍රීය අංගයකි. ඒවා මඟින් ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව යනු පාසල, පවුල සහ ප්‍රජාව සතු සාමූහික වගකීමක් බව පෙන්වා දෙනු ලබයි. පාසල්වලින් ඔබ්බට ගොස් නිවෙස සහ පොදු සමාජය දක්වාම විහිදෙන සාධනීය සහ දීර්ඝකාලීන බලපෑමක් ඇතිකිරීමේ අරමුණින් මෙම වැඩසටහනට ශිෂ්‍යාවන් මෙන්ම දෙමාපියන්ද සම්බන්ධ කරගන්නා ලදි.  

    මේ දක්වා රුවන්වැල්ල රාජකීය විද්‍යාලයට අමතරව ගුරුගල්ල කනිෂ්ඨ විද්‍යාලය, කහනවිට කනිෂ්ඨ විද්‍යාලය, රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය සහ පරදෙණිය ප්‍රාථමික විද්‍යාලය යන පාසල්වලද මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

    මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් Hemas Consumer Brands හි පිළිබඳ අලෙවිකරණ සාමාන්‍යාධිකාරිනී (කාන්තා සනීපාරක්ෂාව) සචිනි ගමගේ මහත්මිය මෙසේ පැවසුවාය: “Teejay Lanka විසින් මෙම පාසලට මෙලෙස සනීපාරක්ෂක පහසුකම් පරිත්‍යාග කිරීම මෙම වැඩසටහනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක්. H.E.R Foundation හරහා නිරෝගී හා දැනුවත් සමාජයක් ගොඩනැංවීමේ අරමුණින් අප අධ්‍යාපනය, පහසුකම් සහ පිළිගැනීම ප්‍රවර්ධනය කිරීම සඳහා අඛණ්ඩව පියවර ගනිමින් සිටිනවා. මෙය දැනුම තුළින් ප්‍රජාවන් සවිබල ගන්වමින්, ගැහැනු දරුවන්ට ගෞරවයෙන් සහ ආත්ම විශ්වාසයෙන් යුතුව ඔසප් වීම කළමනාකරණය කරගැනීමට සහය වීම සඳහා අප දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු කරන හවුල්කාරීත්වයක් ලෙස හැඳින්වීමට පුළුවන්.”  

    Teejay Lanka හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (නීති, ආයතනික සන්නිවේදන සහ ආයතනික සමාජ වගකීම්) කේෂිනී පෙරේරා මහත්මිය මෙසේ සිය අදහස් දැක්වූවාය: "H.E.R පදනම සමඟ අත්වැල් බැඳගැනීම තුළින් යටිතල පහසුකම් වැඩිදියුණු කරන අතරම සමාජයේ යහපත වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකිරීමට අපට හැකි වී තිබෙනවා. මේ ආකාරයට රුවන්වැල්ල රාජකීය විද්‍යාලයේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම, අර්ථවත් සහයෝගීතාවන්හි ශක්තිය මෙන්ම ගැහැනු දරුවන්ගේ ජීවිතවල ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා අප දරන සාමූහික උත්සාහය මැනැවින් පිළිබිඹු කරන මෙහෙවරක් ලෙස හැඳින්වීමට පුළුවන්."