අපනයනකරුවන්ට දේශීය ඩොලර් බැඳුම්කරවල ආයෝජනය කිරීමට හැකිවන පරිදි අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති ප්‍රකාශයට පත්කරයි

    February, 24, 2026

    ශ්‍රී ලංකා රජය විසින් දේශීය වාණිජ බැංකු ඉලක්ක කරගනිමින්, විදේශ ව්‍යවහාර මුදල්වලින් නාමනය කරන ලද දේශීය ණය උපකරණ නිකුත් කිරීම පිණිස 2025-10-13 වන දින පවත්වනු ලැබූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, එහි පළමු නිකුත් කිරීම 2025-12-10 වන දින සිදු කරනු ලැබ තිබේ.

    එහෙත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නීතිරීති සහ උපදෙස්වලින් පැන නැගුණු සීමා හේතුවෙන්, එකී පළමු නිකුත් කිරීම සංස්ථාගත කරන ලද වාණිජ බැංකු සඳහා පමණක් සීමා වී ඇත.

    එබැවින්, ඉල්ලුම වැඩි කිරීම, තරගකාරී මිලකරණය සහතික කිරීම සහ රජය සතු විදේශ ව්‍යවහාර අරමුදල් මූලාශ්‍ර විවිධාංගීකරණය කිරීම වෙනුවෙන් දේශීය ඩොලර් බැඳුම්කරවල ආයෝජක පදනම පුළුල් කිරීම සඳහා අපනයනකරුවන්ට දේශීය ඩොලර් බැඳුම්කරවල ආයෝජනය කිරීමට හැකිවන පරිදි 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත ප්‍රකාරව නිකුත් කරන ලද '2024 අංක 01 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති සංශෝධනය කිරීම අත්‍යවශ්‍ය බව හඳුනාගෙන ඇත.

    ඒ අනුව, 2026-01-30 දිනැති අංක 2473/30 දරන අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් '2026 අංක 01 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

    එකී රීති අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.