February, 25, 2026
PayPal පහසුකම ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පිළිබඳව තවමත් නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර නොමැති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා පවසයි.
කෙසේ වෙතත් PayPal හරහා ගනුදෙනු කිරීමේ දී පෙර පැවති සීමාවන් අවම කරමින් ලංකාව වෙත ප්‍රේෂණ ලබා ගැනීමේ දී තිබූ බාධාවන් ඉවත් කිරීමට ඇතැම් පෞද්ගලික බැංකු කිහිපයක් PayPal සමාගමේ මව් සමාගම සමග ඒකාබද්ධ වී ඇති බව ද, ලේකම්වරයා පවසා සිටියේ ය.
ඔහු මේ බව පවසා සිටියේ අද (25) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දීය.
මේ පිළිබඳ සාකච්ඡා අවසන් අදියරේ ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව ද දැනුම් දී ඇති බව ද ඔහු එහි දී වැඩිදුරටත් සඳහන් කළේය.
"නිල වශයෙන් තාමත් නිවේදනයක් නිකුත් කරලා නැහැ. යම් යම් ප්‍රගතියක් තියනවා පෞද්ගලික බැංකු කිහිපයක් PayPal සමාගම මව් සමාගමත් සමග ඒකාබද්ධ වෙලා. මෙතෙක් සීමා වෙලා තිබ්බ අර "Inward Remittance" ලංකාව වෙත ප්‍රේෂණ ලබා ගැනීමට තිබ්බ බාධක අඩු කරලා යන්න සූදානම තියනවා. ඒක මම හිතන්නේ අවසාන අදියරේ තියන බව තමයි Central Bank එකෙනුත් ඒ ගැන දැනුම් දීලා තියෙන්නේ. මෙතන දි අපිට විශේෂ වාසියක් වෙන්නේ අපිට සාමන්‍ය credit හෝ debit කාඩ්වලින් කරන ගෙවීම්වලට අමතරව අපේ Online ක්‍රමවේද හරහා විදේශයන් එක්ක ගනුදෙනු කරන සුළු හා විශේෂයෙන් මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින්ට එහෙම නැත්නම් internet based service providers මේකෙන් හැකියාව ලැබෙනවා තමන්ගේ මොනවාද තියන ආදායම් ලබා ගැනීමේ ක්‍රමවේද පිළිබඳව නිශ්චිත ක්‍රමවේදයකට කරගන්න."
තව ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන ක්‍රමවේදයන්ට යටත්ව මෙම PayPal පහසුකම රට තුළ විදිමත්ව ක්‍රියාත්මක කිරීමට හැකි වුවහොත් මේ හරහා ගනුදෙනු කරන පාර්ශවවලට එය පහසුවක් වනවා මෙන්ම රජයට ද, එමගින් වාසියක් අතිවන බව ද, ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා වැඩිදුරටත් පවසා සිටියේ ය.
“වෙනදා අපි දැක්කා මේ ලංකාවේ ලිපිනයක් භාවිතා කිරීමට අවස්ථාවක් නොලැබීම නිසා බොහෝ එවැනි ව්‍යාපාර තමන්ගේ ව්‍යාජ ලිපිනයක් හෝ වෙනත් මිතුරෙකුගේ ලිපිනයක් භාවිතා කරලා විදේශ රටක ගිණුමක් යටතේ තමයි ඒ පහසුකම ලබා ගන්නේ. එහි දී ලංකාවට ලැබෙන්න තියන විදේශ විනිමය අහිමි වීමක් සිද්ධ වෙනවා. මේ අලුත් පහසුකම ලැබිලා ඒක විධිමත් වුණොත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන ක්‍රමවේද යටතේ එක අතකින් ඒ කණ්ඩායම් දෙකටම පහසුවක් වෙනවා, PayPal Account එකක් තියන සාමාන්‍ය පාරිභෝගිකයන්ට වගේම තමන්ගේ ගනුදෙනු පියවා ගැනීම කඩිනම් කිරීමට බලාපොරොත්තු වෙන ව්‍යවසායකයින්ටත් මේ අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි අපි යම්කිසි අවස්ථාවක ඔවුන්ට ඒ කියන්නේ විනිවිදභාවයක් ලැබෙනවා මේ හරහා ලංකාවට අයථා ක්‍රමවලින් ඉවත් වෙලා, උන්ඩියල් වගේ ක්‍රම තියෙනවා, අපි කියන විධිමත් ක්‍රමයකට සහ රජය පිළිගත් ක්‍රමයකට මේ අනුගත කිරීමක් සහ ඔවුන්ගෙන් ලැබිය යුතු යම්කිසි බදු මුදලක් තිබේ නම් ඒවත් ගණනය කිරීමේ රජයටත් යම් කිසි වාසියක් අත්පත් වෙනවා.“
Video Story