February, 26, 2026
ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවරදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී අනාවරණය කරන ලද්දේ දකුණු ඉන්දියාවේ ප්‍රමුඛතම සංචාරක සේවා ප්‍රදර්ශනයක් වන SATTE 2026 ප්‍රදර්ශනයට සමගාමීව දෙරට අතර ගුවන් ගමන් සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන ඇති බවයි. මීට අමතරව මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව ගමනාන්ත පිළිබඳ තොරතුරු රැසක්ද අනාවරණය කරන ලද අතර, ඉන්දියානු ජනමාධ්‍ය සමඟ ගනුදෙනු කිරීම සඳහා විශේෂ පදනමක්ද හඳුන්වා දෙන ලදී. ඉන්දියාව යනු ශ්‍රීලංකන් ගුවන් සේවයට අතිශය වැදගත් වෙළඳපොළක් වන අතර, මේ සියල්ල ශ්‍රීලංකන් ගුවන් සේවය සහ එහි සේවාවන් සම්බන්ධයෙන් එරට ජනතාව වැඩි වැඩියෙන් දැනුවත් කිරීම සඳහා මහෝපකාරී වනු ඇත.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මෙන්ම ඉන්දියාව සහ ලෝකය අතර ගුවන් ගමන් සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය දීර්ඝ කාලයක පටන් සුවිශාල කාර්යභාරයක් ඉටු කර තිබේ. මේ වන විට ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර සතියකට ගුවන් ගමන් වාර 90 ක් පමණ ක්‍රියාත්මක වන අතර, ඉදිරියේදී එය තවත් ඉහළ යාමට නියමිතය. ශ්‍රීලංකන් ගුවන් සේවයේ විශාලතම වෙළඳපොළ ඉන්දියාව වන අතර, එය ශ්‍රීලංකන් ගුවන් සේවයේ සමස්ත මගී ගමනාගමනයෙන් 30% කට ආසන්න ප්‍රමාණයක් සහ දිවයිනට පැමිණෙන සමස්ත සංචාරකයින්ගෙන් 23% ක් පමණ වේ.
ශ්‍රීලංකන් ගුවන් සේවය දැනට ඉන්දියාවේ චෙන්නායි, මුම්බායි, දිල්ලි, හයිද්‍රාබාද්, බැංගලෝර්, කොචි, ත්‍රිවේන්ද්‍රම්, මදුරෙයි සහ තිරුචිරප්පලි යන නගර වෙත පියාසර කරන අතර, 2026 වසර ආරම්භයේ සිට සතිපතා ඉන්දියාව වෙත සිදුකරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගෙන ඇත. ශ්‍රීලංකන් ගුවන් සේවයේ 10 වන ඉන්දියානු ගමනාන්තය වන අහමදාබාද් ඉක්මනින්ම මෙම ජාලයට එක්වීමට නියමිතය. මේ ආකාරයට සාමාන්‍යයෙන් නිතර ගුවන් ගමන් සිදු වන ප්‍රධාන නගර මෙන්ම, සාපේක්ෂව අඩු ගුවන් සම්බන්ධතා සහිත, නැගී එන වෙළඳපොළවල් ලෙස සැලකෙන නගර වෙතද පියාසර කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය අවධානය යොමු කර තිබේ.
අහමදාබාද් වෙත ගුවන් සේවා ආරම්භ වීමත් සමඟ ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියාවේ ප්‍රධාන නගර අටෙන් හයක්ම ආවරණය කරනු ඇත. මෙය වසර පුරා පවතින ඉල්ලුම සහ දෙරට අතර ශක්තිමත් සංස්කෘතික සබඳතා උපයෝගී කර ගනිමින්, ආර්ථික වශයෙන් ලාභදායී වෙළඳපොළක් වෙත සපයන සේවා තවදුරටත් ශක්තිමත් කිරීමකි. මෙම සැලසුම් හේතුවෙන් මෙම වසරේදී ඉන්දියානු ගුවන් මගීන් ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිතා කිරීම 12% කින් පමණ වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
විවේකය ගතකිරීම, ව්‍යාපාර කටයුතු සහ ඥාති හිතමිත්‍රාදීන් බැලීමට යාම මෙන්ම විවාහ මංගල්‍යයන් සහ වෙනත් උත්සවවලට සහභාගී වීම දක්වා විවිධාකාර වූ අවශ්‍යතා වෙනුවෙන් ඉන්දියානු මගීහු ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිතා කරති. ශ්‍රී ලංකාව හැර වෙනත් රටවල් වෙත ගමන් කරන විටද ඉන්දියානු මගීන්ගෙන් 30% ක් පමණ කොළඹ හරහා ගමන් කරන අතර, මෙම මගීන් වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය තම ගුවන් යානා හෝ හවුල්කාර ගුවන් සේවාවන්ට අයත් ගුවන් යානා භාවිතයෙන් (Codeshare ක්‍රමයට) මැදපෙරදිග, මාලදිවයින, ඈත පෙරදිග, යුරෝපය සහ ඕස්ට්‍රේලියාව යනාදී රටවල් හා කලාප රැසක් වෙත ගුවන් ගමන් පහසුකම් සපයයි.
ශ්‍රී ලංකාවේ සංචාරක ඉලක්ක සපුරා ගැනීමට අත්වැලක් වීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, සංචාරක සංවර්ධන අධිකාරිය සහ වෙනත් හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කරමින් සිටී. ශ්‍රී ලංකාවේ උත්සව, ආහාරපාන, සුවතා සේවා, සුන්දර වෙරළ තීරයන්, වනජීවීන්, ඉතිහාසය සහ ආගමික කටයුතු ආදිය පිළිබඳ තොරතුරු ලෝකය වෙත රැගෙන යමින්, ශ්‍රී ලංකාව යනු ආකර්ෂණීය ගමනාන්තයක් බව ඉන්දියානු සංචාරකයන්ට පෙන්වා දීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය දැවැන්ත කාර්යභාරයක් ඉටු කර තිබේ. ඉතා මෑතකදී ඉන්දියානු සංචාරකයන්ට ඓතිහාසික රාමායණයේ ඇසින් ශ්‍රී ලංකාව දකිමින් එහි ඓතිහාසික අපූර්වත්වය වර්තමාන ලෝකය තුළ අත්විඳීමට අවස්ථාව උදා කර දීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් සම්මානලාභී ‘Ramayana Trail’ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාවට නංවන ලදි.
ඉන්දියානු මගීන්ගේ ගුවන් ටිකට්පත් මිලදීගැනීම් අතරින් 60% ක් පමණ සංචාරක නියෝජිතයන් සහ සංචාරක වෙබ් අඩවි ආදිය හරහා සිදු වන අතර, ඉතිරි 40% සෘජුවම ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය හරහා සිදු වේ. තම ඩිජිටල් හැකියාවන් වැඩිදියුණු කරන අතරම හවුල්කාර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරමින්, ඉහත සඳහන් කාණ්ඩ දෙකටම අයත් මගීන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉලක්කය වී ඇත.
වැඩිදුර තොරතුරු සහ වෙන්කරවාගැනීම් සඳහා www.srilankan.com වෙත පිවිසෙන්න.




Video Story