අති දැවැන්ත ආයෝජනයක් සමගින් Home Lands කොළඹ වරාය නගරය වෙත පිවිසෙයි

    February, 27, 2026

    ශ්‍රී ලාංකේය දේපළ වෙළෙඳාම් සහ සංවර්ධන ක්ෂේත්‍රයේ නවෝත්පාදනය පෙරටු කරගත් අංක එකේ සහ විශ්වසනීයම සන්නාමය වන Home Lands සමූහය, මෙරට දේපළ වෙළෙඳාම් සහ සංවර්ධන ක්ෂේත්‍රයේ තනි සමාගමක් විසින් කොළඹ වරාය නගරය තුළ සිදුකරන ලද සුවිශාලතම ආයෝජනය සනිටුහන් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 40.1ක (ආසන්නව රුපියල් බිලියන 12.5ක) වටිනාකමකින් යුත් අක්කර තුනකට අධික භූමි භාගයක් අත්පත් කරගැනීමට සමත් විය.
    කොළඹ වරාය නගරයේ මධ්‍ය උද්‍යාන කලාපයට (Central Park District) අයත් මෙම භූමි භාගය, වරාය නගර ව්‍යාපෘතියේ වඩාත් සුවිශේෂිතම පිහිටීමක් ලෙස සැලකේ.
    මෙම සුවිසල් භූමි‍යෙහි ඇමරිකානු ඩොලර් මිලියන 300ක මිශ්‍ර-උපයෝගී අති සුඛෝපභෝගී ව්‍යාපෘතියක් සැලසුම් කර ඇති අතර එය ඒකක 650ක ධාරිතාවයකින් යුත් මහල් 40කින් සමන්විත ද්විත්ව කුළුණු ගොඩනැගිලි සංකීර්ණයකි. මනරම් වනෝද්‍යානයක ස්වභාව සෞන්දර්යය තේමා කරගනිමින් resort-style ජීවන අත්දැකීමක් ලබා දෙන මෙම ව්‍යාපෘතිය තුළින් නවීනතම ගෘහ නිර්මාණ ශිල්පය, හරිතවන් පරිසරය සහ නව්‍ය ජීවන විලාසිතාවන් ඒකාබද්ධ කරමින් සුවිශේෂී ජීවන අත්දැකීමක් තිළිණ කරනු ඇත.
    Home Landsහි මෙම නව සංවර්ධන ව්‍යාපෘතිය අක්කර 40 කට ආසන්න ප්‍රදේශයක් පුරාවට විහිදුණු හරිත උද්‍යානයට මුහුණලා පිහිටන අතරම වරාය නගරයේ අභ්‍යන්තර ජලාශ පද්ධතිය සමග ද සම්බන්ධ වෙමින් ඉන්දීය සාගරයේ හිරු බැස යන චමත්කාරජනක දර්ශනය අත්විඳීමට ද අවකාශය සලසන්නකි. මනස්කාන්ත වෙරළ තීරයත්, හරිත උද්‍යානයත්, නාගරික සජීවීභාවයත් එකම ස්ථානයක ඒකාබද්ධ වන මෙම අද්විතීය සංකලනය, මෙම ව්‍යාපෘතිය කොළඹ ක්ෂිතිජ රේඛාවේ කැපී පෙනෙන සලකුණක් බවට පත්කරනු නොඅනුමාන ය.