ශ්‍රී ලංකා මහා බැංකුව 2026 පළමු භාගය සඳහා වන පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ නිකුත් කරයි

    February, 28, 2026

    2026 වසරේ පළමු භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ   ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත. මෙම සමීක්ෂණය මූල්‍ය පද්ධතිය පිළිබඳ වෙළඳපොළ සහභාගීවන්නන්ගේ අදහස් ග්‍රහණය කරගනිමින් 2025 දෙසැම්බර් 19 සිට 2026 ජනවාරි 16 දක්වා කාලය තුළ,  දිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් අනතුරුව සිදු කර ඇත.

    මෙම ප්‍රකාශනය මගින් වෙළඳපොළ සහභාගීවන්නන් තුළ මූල්‍ය පද්ධතිය කෙරෙහි පවතින විශ්වාසය, මූල්‍ය පද්ධතියට බලපෑම් ඇති කළ හැකි අවදානම් මූලාශ්‍ර සහ එවැනි අවදානමක් හට ගැනීම පිළිබඳ ඔවුන්ගේ අපේක්ෂාවන්හි නිරීක්ෂණ සංක්ෂිප්තයක් ලෙස ඉදිරිපත් කෙරේ. මෙහි ඉදිරිපත් කර ඇති ප්‍රතිඵල, පූර්ණ වශයෙන් සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගේ පිළිතුරු මත පදනම් වී ඇති අතර, එමගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස් පිළිබිඹු නොවේ.

    පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණය මගින් ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය කෙරෙහි පවතින අවදානම් සහ විශ්වාසය පිළිබඳ වෙළඳපොළ සහභාගීවන්නන්ගේ අදහස් ප්‍රමාණනය සහ නිරීක්ෂණය කිරීම සිදු වේ. මෙම සමීක්ෂණයේ යාවත්කාලීන කරන ලද  නියැදි රාමුව ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම්, විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම, රක්ෂණ සමාගම්, ඒකක භාර කළමනාකරණ සමාගම්, ආන්තික සැපයුම්කරුවන් සහ ප්‍රාරක්ෂකයන්, කොටස් තැරව්කාර සමාගම්, බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්, ශ්‍රේණිගත කිරීමේ ආයතන, මූල්‍ය යටිතල පහසුකම් සපයන්නන්  සහ ජංගම දුරකථන පදනම් කරගත් මුදල් සේවා සපයන ආයතන වල අවදානම් කළමණාකරණය කිරීම සඳහා වගකිවයුතු , විධායක නිලධාරීන්ගෙන් සමන්විත වේ.