මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ, මෙරට රැඳී සිටින විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධන කටයුතු පිළිබඳව සොයා බැලීම සහ විදේශයන්හි සිටින ශ්රී ලාංකික ශ්රමිකයන්ගේ ආරක්ෂාව මෙන්ම සුභසාධනය සැලසීම වෙනුවෙන් රජය විශේෂ මෙහෙයුම් මාලාවක් දියත් කර තිබේ. ඊයේ දින (01-03-2026) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සංචාරක නියෝජ්ය අමාත්ය රුවන් රණසිංහ සහ ජනාධිපති ලේකම් ආචර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ තිබේ.
දැනට දිවයින තුළ රැඳී සිටින සංචාරකයන් මුහුණ දෙන ප්රායෝගික ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර, ඔවුන්ගේ වීසා සඳහා වලංගු කාලය සති දෙකකින් (දින 14) ගාස්තුවකින් තොරව දීර්ඝ කිරීමට එහිදී තීරණය කෙරිණි. එසේම අවශ්ය වේ නම් එම කාලය තවදුරටත් දීර්ඝ කිරීම පිළිබඳව සලකා බැලීමටද මෙහිදී යෝජනා විය. එසේම, මෙරට රැඳී සිටින සංචාරකයන්ට අවශ්ය පහසුකම් සැලසීමටත්, ඔවුන්ගේ ආරක්ෂාව සහ සුභසාධන කටයුතු පිළිබඳ සොයා බැලීමටත් විදේශ කටයුතු අමාත්යාංශය හරහා අදාළ තානාපති කාර්යාල සමග සාකච්ඡා කර කඩිනම් වැඩපිළිවෙළක් සැකසීමටත් මෙහිදී තීරණය විය.
මීට අමතරව මැදපෙරදිග රටවල් කිහියක ගුවන් අවකාශ වසාදැමීම නිසා ඇති වී තිබෙන ගමන් අවහිරතා සැලකිල්ලට ගනිමින්, විදේශ කටයුතු අමාත්යාංශය සහ ගුවන් සමාගම් ඒකාබද්ධව විකල්ප ගුවන් ගමන් මාර්ග ඔස්සේ සංචාරකයන්ට සිය රටවල් බලා යාමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමටද තීරණය විය.
එසේම මෙරටට පැමිණීමට අපේක්ෂා කරන සංචාරකයන්ට බාධාවකින් තොරව පැමිණීමට විකල්ප ගමන් මාර්ග පිළිබදව අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමටද සහ ඊට අවශ්ය පහසුකම් සැලසීමටද තීරණය කෙරිණි.
සංචාරකයන්ගේ සහ ශ්රමිකයන්ගේ සහාය සඳහා රජ්ය ආයතන කිහිපයක් පැය 24 පුරා ක්රියාත්මක සහාය සේවා ස්ථාපිත කර ඇත. ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් මෙරට රැඳී සිටින සංචාරකයන්ගේ සහාය සඳහා විශේෂ මෙහෙයුම් ඒකකයක් පිහිටුවා ඇති අතර, 1912 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ එම ඒකකය හා සම්බන්ධ විය හැකිය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයද විදේශයන්හි සිටින ශ්රී ලාංකික ශ්රමිකයන් පිළිබඳ තොරතුරු සහ සහාය ලබා දීමට 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ක්රියාත්මක කර ඇත.
මීට අමතරව විදේශ කටයුතු අමාත්යාංශය මැදිහත් වී මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ පිහිටි සියලුම ශ්රී ලංකා තානාපති කාර්යාල සමඟ ඒකාබද්ධ යාන්ත්රණයක් සකස් කර ඇත. ඒ අනුව, හදිසි අවස්ථාවකදී කඩිනම් ප්රතිචාර දැක්වීමටත්, ශ්රී ලාංකික ශ්රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් සියලුම තානාපති කාර්යාල සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සූදානම්ව සිටී. සංචාරකයන්ගේ අභ්යන්තර ප්රවාහන කටයුතු බාධාවකින් තොරව සිදු කීරීමට සහ පවතින තත්වයන් සලකා බලා අවශ්ය කඩිනම් තීරණ ගැනීමට කටයුතු කරන බවද මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
මෙම අවස්ථාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ප්රභාත් චන්ද්රකීර්ති, ජනාධිපති ජ්යේෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශයේ ලේකම් අරුණි රණරාජා , ආගමන හා විගමන පාලක ජනරාල් චාමින්ද පතිරාජ, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්රමසිංහ යන මහත්ම මහත්මීහු සහ සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ නිලධාරීහු සහභාගී වූහ.
එසේම, සංචාරක කර්මාන්තය නියෝජනය කරමින් ශ්රී ලංකා අභ්යන්තර සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමයේ (SLAITO) සභාපති නලින් ජයසුන්දර , ලේකම් සහ නිලාන් වික්රමසිංහ , ශ්රී ලංකා සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ (THASL) සාමාජික චන්ද්රා වික්රමසිංහ , නිහාල් මුහන්දිරම් යන මහත්වරු ඇතුළු හෝටල් හිමියෝ පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.