March, 4, 2026
තෝරා ගත් දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම, ආදායම් උත්පාදනය කිරීම ආදී අරමුණු සහිතව සෙස් බද්ද ඇතුළු රේගු බදු නොවන අනෙකුත් ආනයන බදු අඛණ්ඩව පැනවීම සහ එම බදු වර්ග පුළුල් කිරීම කාලයක් මුළුල්ලේ සිදු වී තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් අතරමැදි සහ යෙදවුම් භාණ්ඩ සඳහා ඉහළ ආනයන පිරිවැයක් දැරීමට සිදු වීම මත අපනයනාභිමුඛ කර්මාන්ත වල නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇත.
එම තත්ත්වය ජාත්‍යන්තර වෙළෙඳපොළවලදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදන වල තරගකාරීත්වය අඩු වීමට මෙන්ම අපනයන මූලික කරගත් ආර්ථික වර්ධනය සීමා වීමට හේතු වී තිබේ.
එබැවින්, නිෂ්පාදන පිරිවැය අඩු කිරීම හරහා අපනයන තරගකාරිත්වය වැඩි දියුණු කිරීම, කර්මාන්ත ප්‍රවර්ධනය හා අගය එකතු කිරීම සඳහා සහාය වීම, වෙළෙඳාම පහසු කිරීම හා වෙළෙඳ කටයුතු සඳහා පහසුකම් සැලසීම, සියලු පාර්ශ්වකරුවන් සඳහා සමාන තරගකාරිත්වයක් සහතික කිරීම සහ ජාත්‍යන්තරව පිළිගත් පරිචයන් හා ලෝක වෙළෙඳ සංවිධානයේ ප්‍රතිපත්ති සමඟ අනුකූල වීම අරමුණු කර ගනිමින් එකී සෙස් බද්ද අදියර වශයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, හඳුනාගනු ලැබ ඇති සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 2,634 ක් යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ මත පනවනු ලැබ ඇති සෙස් බද්ද 2026 වසරේ සිට 2029 වසර දක්වා වසර 04කදී අදියර වශයෙන් ඉවත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථීක සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story