March, 5, 2026
ජර්මානු ආසියා-පැසිෆික් ව්‍යාපාරික සංගමයේ (OAV) බ්‍රෙමන් ශාඛාවේ 125 වැනි සංවත්සරයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, පෙබරවාරි 26 වැනි දින සිට 27 වැනි දා දක්වා ජර්මනියේ බ්‍රෙමන් වෙත සංචාරයක නිරත විය. ආසියාවේ සම්භාවනීය ආරාධිත අමුත්තා සහ ප්‍රධාන කථිකයා ලෙස ජර්මනියේ විදේශ අමාත්‍ය ආචාර්ය යොහාන් වාඩෆූල් ද එයට සහභාගී විය. මෙම සංචාරය අතරතුරදී, විදේශ අමාත්‍ය හේරත්, විදේශ අමාත්‍ය ආචාර්ය වාඩෆූල් සමඟ ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වූ අතර, ශ්‍රී ලංකාව පිළිබඳ ව්‍යාපාරික වටමේස සාකච්ඡාවක ද මුලසුන දැරීය.
යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් වන බ්‍රෙමන් නගර ශාලාවේ පැවති ආසියා-පැසිෆික් ව්‍යාපාරික සංගමයේ බ්‍රෙමන් ශාඛාවේ 125 වැනි සංවත්සර සැමරුමේ ප්‍රධාන දේශනය පවත්වමින් විදේශ අමාත්‍ය හේරත්, ජර්මානු දේශපාලන හා ව්‍යාපාරික නායකයින් සහ විදේශීය සම්භාවනීය අමුත්තන් ඇමතීය. කලාපය තුල ශ්‍රී ලංකාවේ පිහිටීම, එහි පුළුල් වන කලාපීය සම්බන්ධතාවය, නිදහස් වෙළඳ ගිවිසුම් කිහිපයක් මෙන්ම කලාපීය හවුල්කරුවන් සමඟ වරණීය වෙළඳ විධිවිධාන සහ උගත් ශ්‍රම බලකාය, දකුණු ආසියාවේ වෙළඳාම සහ ආයෝජන සඳහා රට ආකර්ශනීය ගමනාන්තයක් බවට පත් කරන සාධක ලෙස ඔහු ඉස්මතු කළේය. වරාය සහ සැපයුම් කර්මාන්තය සමඟ බ්‍රෙමන්හි ඇති ශක්තිමත් සම්බන්ධතා හේතුවෙන්, මෙම අංශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හැකියාවන් ගවේෂණය කරන ලෙස අමාත්‍යවරයා ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළේය.
මෙම උත්සවයට සමගාමීව, විදේශ අමාත්‍ය හේරත්, සිය ජර්මානු පාර්ශවකරු වන ආචාර්ය යොහාන් වාඩෆූල් සමඟ සාකච්ඡා පැවැත්වූ අතර, එහිදී දිගුකාලීන ද්විපාර්ශ්වික සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීම, වෙළඳාම සහ ආයෝජන පුළුල් කිරීම, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වර්ධන හැකියාවන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය ඇතුළු බහුපාර්ශ්වික රාමු තුළ සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු විය. සංචාරක කර්මාන්තයේ සැලකිය යුතු හැකියාවන් උපයෝගී කර ගැනීම සඳහා වැඩිදියුණු කළ යුතු ජර්මානු භාෂා පුහුණුව, වෘත්තීය අධ්‍යාපනය සහ කුසලතා රැකියා අවස්ථා වැනි කරුණු පිළිබඳව ද දෙපාර්ශ්වය සාකච්ඡා කළහ. වෙළඳාම, ආයෝජන සහ සංචාරක හවුල්කාරිත්වයන් පුළුල් කිරීම කෙරෙහි මෑත කාලීන ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික රැස්වීම්වල බලපෑම ද සාකච්ඡාවේදී සඳහන් කෙරිණි.
පුළුල් ව්‍යාපාරික ප්‍රජාවක සහභාගීත්වයෙන් පැවති ආසියා-පැසිෆික් ව්‍යාපාරික සංගමයේ බ්‍රෙමන් ශාඛාව සහ බ්‍රෙමන් වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ව්‍යාපාරික වටමේස සාකච්ඡාව අමතමින් විදේශ අමාත්‍ය හේරත්, ශ්‍රී ලංකාවේ සම්බන්ධතාවය සහ කලාපයේ වර්ධනය වන වෙළඳපල ප්‍රවේශය, එහි දේශීය වෙළඳපොළට පමණක් නොව පුළුල් කලාපීය වෙළඳපොළකට අවස්ථා ලබා දෙන බව අවධාරණය කළේය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, දකුණු ආසියාවේ උපායමාර්ගික මූලාශ්‍ර හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කළ අතර, ඉදිරියේදී පැවැත්වෙන ‘2026 ශ්‍රී ලංකා එක්ස්පෝ’ ප්‍රදර්ශනය සඳහා සහභාගී වන ලෙස ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළේය.
සංචාරය අතරතුරදී, විදේශ අමාත්‍ය හේරත් මහතා බ්‍රෙමන් නගරාධිපති ආචාර්ය ඇන්ඩ්‍රියාස් බොවෙන්ෂුල්ට් මහතා ද හමුවූ අතර, ඔහු විසින් විදේශ අමාත්‍යවරයාව යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුගත බ්‍රෙමන් නගර ශාලාවේදී පිළිගනු ලැබීය. මෝටර් රථ කර්මාන්ත, වෙළඳාම සහ සැපයුම් ඇතුළු බ්‍රෙමන් හි ශක්තිමත් විශේෂඥතාවයක් ඇති අංශ කෙරෙහි එම සාකච්ඡාවල අවධානය යොමු විය. vජර්මානු සංචාරකයින් අතර සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ වර්ධනය වන ජනප්‍රියතාව සහ සංචාරක ක්ෂේත්‍රයේ වැඩිදුර සහයෝගීතාව සඳහා පවතින අවස්ථා කෙරෙහිද එහිදී අවධානය යොමු විය.
අමාත්‍යවරයා සමඟ, මෙම බ්‍රෙමන් සංචාරය සඳහා, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපතිනී වරුණි මුතුකුමාරණ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සහ බර්ලිනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
Video Story