March, 6, 2026
යුධමය තත්ත්වයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු විය හැකි බලපෑම පිළිබඳව අධ්‍යයනය කරමින් ඊට අවශ්‍ය තීන්දු තීරණවලට එළඹෙමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ ඊයේ (05) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී යි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වන විටත් මෙරට මූල්‍ය වෙළඳපොළෙහි සිදු විය හැකි දේ පිළිබඳව පුරෝකථනයක් අදියර තුනක් ඔස්සේ සකස් කර ලබා දී ඇති බව ද ඔහු එහි දී පවසා සිටියේ ය.
"විශේෂයෙන් මහ බැංකුව විසින් අපිට ලබා දුන්නා ඔවුන්ගේ පුරෝකථනයන්. විශේෂයෙන් මූල්‍ය වෙළඳපොළේ සිදුවිය හැකි පුරෝකථනයන් පිළිබඳව. ඒක අදියර තුනකින් සකස් කරලා තියනවා. මේ තියන තත්ත්වය, මීට වඩා වර්ධනය වූ මධ්‍යස්ථ තත්ත්වය සහ අපි අපේක්ෂා නොකර එහෙත් විනාශකාරී තත්ත්වය. ඒ තත්ත්වයන්ට අනුරූපී වන පරිදි අපි අපේ මූල්‍ය වෙළඳපොළ හැසිරෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ඊයේ (04) මහ බැංකුව විසින් අපිට වාර්තාවක් ලබා දී තිබෙනවා. ඒ වාර්තාවේ තියන නිර්දේශයන්ට අනුව අපි තීන්දු තීරණ ගනිමින් ඉන්නවා. අනිත් පැත්තෙන් අපේ රටේ සාර්ව ආර්ථිකය, ආහාරපාන ඊට පස්සේ රැකියා මුදල් අමාත්‍යාංශය විසින් ඒ පිළිබඳව දැනට අධ්‍යනය කරමින් යනවා. අධ්‍යයනය කරමින් අපි අවශ්‍ය තීන්දු තීරණ වලට එළඹෙමින් ඉන්නවා."
මේ අතර මෙරට විදෙස් සංක්‍රාම සහ සංචාරක කර්මාන්තය පිළිබඳව පැහැදිලි කරමින් ජනපතිවරයා පවසා සිටියේ අපේ රටේ සංචිත ගොඩනැගීමේ වැදගත්ම ක්ෂේත්‍ර දෙක මෙය වන අතර විදසේගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන මුදල් වලට වන බලපෑම සහ ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම පිළිබඳව ද මේ වන විට සැලසුම් සකස් කරමින් සිටින බවයි.
"ඊළඟට විශේෂයෙන්ම අපි බැලුවා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්. ඒ මොකද අපේ රටේ ප්‍රධාන සංචිතයන් ගොඩනැගීමේ වැදගත්ම ක්ෂේත්‍ර දෙක තමයි අපේ විදෙස් සංක්‍රාම සහ අපේ සංචාරක කර්මාන්තය. අපි බලමින් ඉන්නවා අපේ විදෙස් සංක්‍රාමවලට, විදසේගත ශ්‍රී ලාංකිකයන් අපට එවන මුදල් වලට වන බලපෑම පිළිබඳව. ඒක මේ අදියරේදී මොන බලපෑමක් ඒවි ද, ඊලගට මොන බලපෑමක් ඒවි ද, ඒ වගේම ඒ පුරවැසියන් මේ අදියරේ දී ජීවිතේ සුරක්ෂිත කරන්නේ කොහොම ද, මීට වඩා වෙනස් තත්ත්වයකට පත් වුණොත් ඒගොල්ලන්ට අපි ආරක්ෂිතව ලංකාවට ගේන්නේ කෙහොම ද, ඒ පිළිබඳව සැලැස්මක් අපි සාකච්ඡා කරමින් ඉන්නවා. ඊළඟට ලංකාවට ආරම්භයේද පැමිණි සංචාරකයින් අපි ආරක්ෂා කරගන්න ඕනෑකම තියනවා. මොකද, අපි පැමිණි සංචාරකයින් හොදින් රැකබලා ගන්නවා කියන පණිවිඩයම තමයි අපේ සංචාරක කර්මාන්තයේ වර්ධනයට හේතු වෙන්නේ. ඒ නිසා අපි ඒ සංචාරකයින් සඳහා ආකාර තුනක සංචාරකයින් ඉන්නවා. ඒ ආකාර තුනේම සංචාරකයින් පිළිබඳව අපි වැඩපිළිවෙලක් හදලා තියනවා. අපි හෝටල් හිමියන් සමඟ සාකච්ඡා කරලා තියනවා. සංචාරක කර්මාන්තයට කැඳවන ඒජන්සීස් එක්ක අපි සාකච්ඡා කරලා තියනවා. ඒ වගේම තනියම එන Backpacker වගේ තනියම එන පුද්ගලයන් කොහොමද ඒගොල්ලන්ගේ අපි සුරක්ෂිතතාව තහවුරු කරන්නේ. ඒ වගේම ඔවුන්ට අපි සති දෙකක නිදහස් වීසා පත්‍රයක් ලබා දෙන්න තීරණය කළා. ඒ වගේම අපේ එයාර් ලංකා එක උත්සහ කරනවා ඔවුන්ට අලුත් ගමනාන්තයන් හරහා ඔවුන්ගේ මාතෘභූමිය දක්වා කැඳවන්නේ කොහොමද කියලා අපි දකින්නේ."
තව ද, ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා සිටියේ මෙම යුධමය තත්ත්වය හරහා සෘජුවම බලපෑම් සිදුවන ක්ෂේත්‍ර පිළිබඳවත් රටක් ලෙස මෙරට ආර්ථිකයට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න පිළිබඳවත් ඉතාමත් අවධානයෙන් විධිමත් වැඩසටහනක් සකස් කරමින් සිටින බවයි.
"ඊළගට ගත්තොත් අපේ අපනයන විශේෂයෙන්ම අපි දන්නවා අපේ තේ අපනයනයෙන් විශාල පංගුවක් අපි ඒ කර්මාන්තයේ නියැලෙන අයට සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ නිසා මේ තත්ත්වය විසින් සෘජුවම බලපෑම් කරන ක්ෂේත්‍ර පිළිබඳවත්, ඒ වගේම රටක් හැටියට අපි ආර්ථිකයට මුහුණ දෙන්නේ කෙහොමද කියලා තමයි අපි කල්පනා කරමින් ඉන්නේ. ඒ සඳහා ඉතාමත් අවධානයෙන් විධිමත් වැඩසටහනත් සකස් කරමින් ඉන්නවා."
Video Story