March, 7, 2026
ශ්රී ලංකා මහ බැංකුව 2026 පෙබරවාරි මාසයේ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති විදේශ විනිමය ප්රමාණය ඩොලර් මිලියන 461 ක් බව වාර්තා වේ. නවතම වාර්තාවක සඳහන් වන්නේ පසුගිය පෙබරවාරි මාසය තුල කිසිදු ආකාරයක ඩොලර් විකිණීමක් මහ බැංකුව සිදුකර නොමැති බවයි.
මේ අතර 2026 ජනවාරි මාසය තුළ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 209.8 ක් මිල දී ගැනීමට මහ බැංකුව කටයුතු කර තිබුණු අතර ඩොලර් මිලියන 9.5ක් අලෙවි කර තිබුණි. ඒ අනුව ශුද්ධ වශයෙන් 2026 ජනවාරි මාසයේ දී මහ බැංකුව මිල දී ගෙන තිබූ ඩොලර් ප්රමාණය, ඩොලර් මිලියන 200.3කි.
මේ අනුව 2026 මුල් මාස දෙක තුළ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 661.3ක් මිල දී ගැනීමට ශ්රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇත.
මෙම ඩොලර් මිල දී ගැනීමත් සමඟම 2026 පෙබරවාරි මාසය අවසාන වන විට ශ්රී ලංකාව සතු නිල සංචිත වත්කම් ප්රමාණය ඩොලර් බිලියන 7.28ක් දක්වා ඉහළ නංවා ගැනීමට ශ්රී ලංකා මහ බැංකුව සමත් වී තිබේ.
මෙලෙස ශ්රී ලංකාවේ නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ 2020 අගෝස්තු මාසයෙන් පසුව පළමු වරට වීම විශේෂත්වයකි. එනම් වසර 5 1/2කට පසුවය.
Video Story