March, 9, 2026
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ වන විස්තීර්ණ ණය පහසුකමේ පස්වන සමාලෝචනයට අදාළව නිලධාරී මට්ටමේ එකඟතාවකට එළඹීම පසුගිය 2025 ඔක්තෝබර් මාසයේ දී සිදුවිය. මෙය මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම 2025 දෙසැම්බර් මාසයේ දී සිදුකිරීමට නියමිතව තිබුණ ද දිට්වා සුළිකුණාටුවේ බලපෑම හේතුවෙන් රට තුළ ඇති වූ අර්බුදකාරී වාතාවරණය මත එය ප්‍රමාද කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කළේය.
මේ අතර පසුගිය (07) දා බ්ලූම්බර්ග් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාව සමඟ වන විස්තීර්ණ ණය පහසුකමට අදාළ පස්වන සහ හයවන සමාලෝචන එකවර අවසන් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවයි.
“අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙනවා පස්වන සහ හයවන සමාලෝචන ඒකාබද්ධ කර අවසන් කරන ලෙස. බොහෝ විට මැයි මාසයේ දී IMF විධායක මණ්ඩලය වෙත ගොස් මෙම සමාලෝචන දෙක සඳහා එකවර අනුමැතිය ලබා ගැනීමට අපට පුළුවන් වේවි. ඒත් සමඟම අදාළ වාරික කඩිනමින් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.“
ශ්‍රී ලංකාවට අදාළ පස්වන සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසුව පසුගිය 2025 දෙසැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 347ක මූල්‍යයන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවීමට තිබුණි. එසේම සයවන සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් පසු විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු ඊට සමාන මූල්‍ය ප්‍රවේශයකට ශ්‍රී ලංකාව හිමිකම් කියනු ඇත. ඒ අනුව ඩොලර් මිලියන 700ක පමණ වාරිකයක් එකවර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවනු ඇත.
Video Story