GWM සහ BAIC වාහන ලීසිං ප්‍රවර්ධනය සඳහා කොමර්ෂල් බැංකුව හා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් අතර හවුල්කාරීත්වයක්

    March, 9, 2026

    විශේෂයෙන් හඳුන්වා දෙන ව්‍යුහගත ලීසිං ණය යෝජනා ක්‍රමවේදයක් හරහා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් (පුද්ගලික) සමාගම අලෙවි කරන GWM සහ BAIC වාහන මාදිලිය ප්‍රවර්ධනය කිරීමට කොමර්ෂල් බැංකුව ඉදිරිපත් වී ඇත. මෙම හවුල්කාරීත්වය පාරිභෝගික ජීවන රටාවන් උසස් කිරීමටත් සියලු දෙනාටම හොඳම ප්‍රවාහන පහසුකම් ලබා දීමටත් බැංකුවේ ඇති කැපවීම පෙන්වා දෙයි.

    මෙම හවුල්කාරීත්වය යටතේ, කොමර්ෂල් බැංකුව විසින් දිවයින පුරා පිහිටි තම ශාඛා ජාලය හරහා තෝරාගත් GWM සහ BAIC වාහන මාදිලිවල මිලදී ගැනීමේ පිරිවැයෙන් කොටසක් ලබා දීමට හැකිවන පරිදි ලීසිං පහසුකම් පුළුල් කරනු ඇත. ආකර්ෂණීය පොලී අනුපාත, ලියකියවිලි ගාස්තු අඩුකිරීම් මෙන් ම පළමු වසරේ වාර්ෂික ගාස්තුව නිදහස් කර නොමිලේ ක්‍රෙඩිට් කාඩ්පතක් ලබා ගැනීමට ද ගනුදෙනුකරුවන්ට මෙහිදී අවස්ථාව ලැබේ. ආපසු ගෙවීමේ කාලසීමාවන් තනි පුද්ගල ආදායම් රටාවන්ට ගැලපෙන පරිදි සකස් කරගත හැකි අතර එමඟින් වඩාත් දැරිය හැකි මිලකට වාහනයක හිමිකරුවෙකු වීමට ගනුදෙනුකරුවන්ට හැකියාව ලැබෙන බව බැංකුව පවසයි.

    ඩේවිඩ් පීරිස් සමූහයේ මෝටර් රථ අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් සමාගම විසින් ශ්‍රී ලංකාව තුළ BAIC X55, BAIC BJ30 සහ BAIC BJ40 වාහන මාදිලි සහ GWM සන්නාමයේ Haval H6 HEV, H6 PHEV, H6 GT PHEV, TANK 300 HEV, සහ TANK 500 HEV යන වාහන අලෙවි කරයි. සමාගම විසින් බැංකුවේ මූල්‍ය පහසුකම් වලට අමතරව නොමිලේ වාහන ලියාපදිංචි කිරීම හා ශ්‍රම ගාස්තු රහිත සේවා වාර දෙකක් ඇතුළු තවත් දීමනා හා ප්‍රතිලාභ රැසක් ලබාදෙනු ඇත. තවද, මෙම හවුල්කාරීත්වය හරහා ප්‍රවර්ධනය කරන මාදිලි සඳහා නිෂ්පාදකයාගේ පුළුල් වූ වගකීමක් ද ලබා දෙයි. දිගුකාලීන විශ්වාසනීයත්වය සහ ධාවකයාගේ මානසික නිදහස ශක්තිමත් කරමින් GWM හයිබ්‍රිඩ් සහ ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් වාහන පරාසය සඳහා එන්ජිමට වසර හයක් හෝ කිලෝමීටර 200,000 ක් දක්වා වගකීමක්, සහ බැටරියට වසර අටක් හෝ කිලෝමීටර 160,000 ක් දක්වා වූ වගකීමක් හිමිවනු ඇත. ප්‍රවර්ධනයට ඇතුලත් BAIC මාදිලිය සඳහා වසර තුනක් හෝ එන්ජිමට කිලෝමීටර 100,000 ක වගකීමක් හිමි වේ.

    මෙම ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහන 2027 ජනවාරි 30 වන දින දක්වා ක්‍රියාත්මක වන අතර තරඟකාරී මෙන් ම පාරිභෝගික කේන්ද්‍රීය වූ ලීසිං විසඳුම් ලබා දීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් කීර්තිමත් මෝටර් රථ බෙදාහරින්නන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ උපායමාර්ගය මනාව පෙන්නුම් කරයි.

    බැංකුව පැවසූයේ මෙම හවුල්කාරීත්වය විශේෂයෙන්ම නම්‍යශීලීත්වය සොයන ගනුදෙනුකරවැන්ට වැදගත් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි. මන්ද යත්, මෙහිදී පිරිනමනු ලබන විශේෂ පොලි අනුපාත සහ සහන හරහා ආදායමට අනුව ආපසු ගෙවීම් ක්‍රම සකස් කිරීමට ඉඩ සැලසෙන අතර, මූල්‍ය විනය ආරක්ෂා කරමින් වාහන හිමිකාරීත්වයක් ලබා ගැනීමේ හැකියාව වැඩි කරන බැවිනි.

    ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

    දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 272ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

     

    සේයාරු සටහන: කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණය කපිල ලියනගේ මහතා සමඟ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් හි සාමාන්‍යාධිකාරී - විකුණුම් සහ අලෙවිකරණ යසන්ත අබේකෝන් මහතා සමාගම් දෙකෙහි නියෝජිතයින් ඉදිරියේ ගිවිසුම හුවමාරු කර ගන්නා අවස්ථාව