ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ සහ දැරියන්ගේ සුරක්ෂිතභාවය සහ අභිවෘද්ධිය උදෙසා “ඇයගේ ප්‍රගතිය, අපගේ සමෘද්ධිය” (#HPOP) ජාතික ව්‍යාපාරයක් ආරම්භ කෙරේ

    March, 11, 2026

    ශ්‍රී ලංකාව පුරා වෙසෙන කාන්තාවන් සහ දැරියන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරමින් ඔවුන්ගේ දියුණුවට මග පෑදීම අරමුණු කරගත් සුවිශේෂී ජාතික ව්‍යාපාරයක් 2026 මාර්තු 08 වන දින නිල වශයෙන් ආරම්භ කරන ලදී. "ශ්‍රී ලාංකේය තරුණ පරපුර කෙරෙහි බලපෑමක් ඇති කිරීමට සහ ඔවුන් දිරිමත් කිරීමට ශ්‍රී ලාංකේය කාන්තාව සතු ශක්තිය" යන තේමාව යටතේ පැවැත්වුණු ජාත්‍යන්තර කාන්තා දින වටමේස සමුළුවට සමගාමීව මෙම ව්‍යාපාරය දියත් කෙරිණි.

    මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ සිය 25 වසරක සේවා කාලයන් සම්පූර්ණ කරන ශ්‍යාමලා කලායතනය (Shyamala School of Art) සහ ශ්‍රී ලාංකීය තරුණ පරපුර වෙනුවෙන් වසර 18 ක සේවාවක් සපුරා ඇති යුනිටි මිෂන් ට්‍රස්ට් (Unity Mission Trust) ආයතනය ඒකාබද්ධවය. “ඇයගේ ප්‍රගතිය.අපගේ සමෘද්ධිය” (#HerProgressOurProsperity) යන නාමය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපාරය, ශ්‍රී ලාංකීය සමාජයේ බිම් මට්ටමේ සිට වෙනසක් ඇති කිරීම උදෙසා කැපවුණු දීර්ඝකාලීන, ක්‍රමවත් වැඩපිළිවෙළක ආරම්භය සනිටුහන් කරයි.

    හුදෙක් සංකේතවත් සැමරුමකින් ඔබ්බට යමින්, කාන්තාවන් දෛනිකව මුහුණ දෙන තීරණාත්මක අභියෝගයන්ට විසඳුම් සෙවීම සඳහා මෙම වැඩසටහන සැලසුම් කර ඇත. මහජන මතය වෙනස් කිරීම, සමාජ හැසිරීම් කෙරෙහි බලපෑම් කිරීම, ප්‍රතිපත්තිමය සංවාද ඇති කිරීම සහ කාන්තාවන්ගේ ආරක්ෂාව, ගෞරවය සහ දියුණුව වෙනුවෙන් ප්‍රජාවන් බලමුලු ගැන්වීම මෙහි ප්‍රධාන අරමුණයි.

    මෙම නිල සමාරම්භක අවස්ථාව සඳහා වෘත්තීය, ශාස්ත්‍රීය සහ ව්‍යවසායකත්ව ක්ෂේත්‍ර නියෝජනය කරමින් ප්‍රමුඛ පෙළේ කාන්තා නායිකාවන් 50 දෙනෙකු සහ යුනිටි මිෂන් ට්‍රස්ට් ආයතනය නියෝජනය කරන දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණ කාන්තා නායිකාවන් පිරිසක් සහභාගී වූහ. කාන්තාවන්ගේ ප්‍රගතිය තුළින් රටේ සෞභාග්‍යය උදාකර ගැනීම සඳහා ඔවුන් සුරක්ෂිත කිරීමේ සහ දිරිගැන්වීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම ඔවුන්ගේ පොදු අරමුණ විය. මෙම වැඩසටහන ඉදිරියේදී පාසල්, ආයතන සහ ප්‍රජාවන් සමඟ එක්ව දිවයින පුරා පවත්වාගෙන යෑමට සැලසුම් කර ඇති අතර, විශේෂයෙන්ම අඩු පහසුකම් සහිත සහ දුෂ්කර ප්‍රදේශවල වෙසෙන කාන්තාවන් වෙත මෙම පණිවිඩය රැගෙන යාමට අපේක්ෂිතය.

    මෙම දීර්ඝකාලීන ව්‍යාපෘතියේ පළමු අදියරේදී, වහාම ජාතික අවධානය යොමු විය යුතු ප්‍රධාන ක්ෂේත්‍ර හතක් ප්‍රකාශයට පත් කරන ලදී.

    1. මානසික ආරක්ෂාව සහ මානසික සුවබව: සංවර්ධිත ජාතියක් ගොඩනැගීම සඳහා කාන්තාවන් හා ගැහැණු ළමුන්ගේ ශාරීරික, මානසික හා මනෝවිද්‍යාත්මක ආරක්ෂාව කෙසේ ශක්තිමත් කළ හැකිද?
    2. අධ්‍යාපනය: සමාජයේ සංකල්ප හා හැසිරීම් පරිවර්තනය කිරීමට අධ්‍යාපනය උපකරණයක් ලෙස භාවිත කරමින්, සියලුම මට්ටම්වල පිරිමි ළමුන්, පිරිමි පුද්ගලයින් හා කාන්තාවන්ට, පොදු හා ගෘහස්ථ පරිසරයන්හි කාන්තාවන්ගේ ගෞරවය සුරැකීමට, ආරක්ෂා කිරීමට හා ගෞරවයෙන් සැලකීමට කෙසේ ඉගැන්විය හැකිද?
    3. නීතිමය සහාය හා කාන්තාවන්ගේ ආරක්ෂාව: කාන්තාවන් ආරක්ෂා කිරීමට ලබා ගත හැකි නීතිමය මාර්ග පිළිබඳ දැනුවත් කිරීම සහ එවැනි අත්‍යවශ්‍ය සහාය ලබා ගන්නා ආකාරය පිළිබඳ දැනුම කෙසේ ව්‍යාප්ත කළ හැකිද?
    4. ගෘහස්ථ හා පොදු ආරක්ෂාව: ගෙදර, පාසල්, විශ්වවිද්‍යාල, කාර්යාල, සේවා ස්ථාන සහ පොදු පරිසරයන්හි කාන්තාවන් හා ගැහැණු ළමුන්ට විරුද්ධ හිංසා හා හිරිහැර වලින් ආරක්ෂා කිරීමට පද්ධති කෙසේ සකස් කළ හැකිද?
    5. කාන්තා සෞඛ්‍යය, මාසික දුප්පත්කම සහ සනීපාරක්ෂක අවශ්‍යතා: කාන්තාවන් හා ගැහැණු ළමුන්ට අවශ්‍ය තොරතුරු, සනීපාරක්ෂක ද්‍රව්‍ය හා සෞඛ්‍ය සේවා පිළිබඳ දැනුවත්භාවය සහ ප්‍රවේශය වැඩි කිරීමට කෙසේ ක්‍රියා කළ හැකිද?
    6. සයිබර් ආරක්ෂාව: ඩිජිටල් දුර්විනියෝග, සයිබර් අපරාධ සහ තාක්ෂණික ඇබ්බැහිවීම් වලින් කාන්තාවන් හා ගැහැණු ළමුන් ආරක්ෂා කිරීමට කෙසේ පියවර ගත හැකිද?
    7. මූල්‍ය හා ආර්ථික වර්ධනය: කාන්තාවන් හා ගැහැණු ළමුන් සඳහා මූල්‍ය දැනුම, ව්‍යවසායකත්වය සහ ස්වයංරැකියා අවස්ථා ප්‍රවර්ධනය කරමින්, පරිසර හා දේශගුණික සීමා හේතුවෙන් ජීවනෝපාය වලට ඇති බලපෑම් අවම කිරීමට කෙසේ ක්‍රියා කළ හැකිද?

    සමාරම්භක උත්සවයෙන් අනතුරුව, “ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ සහ දැරියන්ගේ සුරක්ෂිතභාවය සහ අභිවෘද්ධිය” තේමාව යටතේ වටමේස සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී සහභාගිවන්නන් කණ්ඩායම් වශයෙන් එක්ව ප්‍රධාන ගැටලු විශ්ලේෂණය කර, ප්‍රජාවන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් හරහා ක්‍රියාත්මක කළ හැකි කෙටි කාලීන හා දීර්ඝකාලීන ප්‍රායෝගික නිර්දේශ ඉදිරිපත් කරන ලදී.

    සමුළුවේ මුලසුන ශ්‍යාමලා පින්ටෝ ජයවර්ධන මහත්මිය විසින් දැරූ අතර, මෙහෙයවීම සාෂා පින්ටෝ ජයවර්ධන මහත්මිය විසින් සිදු කරන ලදී. සැසිවාරයන්හි සභාපතිත්වය ආචාර්ය රන්සිරිණි ද සිල්වා, ප්‍රේමිලා පෝල්රාජ්, විජුලා අරුලම්පලම්, ආචාර්ය නදී දිසානායක, ආචාර්ය කුමාරංගි විතානගේ, මිෂෙල් හර්ෆ්ට් සහ ලක්මාලි හපුආරච්චි යන මහත්මීන් විසින් දරන ලදී. උත්සවයේ නිල නිවේදිකාව ලෙස ක්ෂ්‍යාලා පින්ටෝ ජයවර්ධන මෙනවිය කටයුතු කළාය.

    සමුළුව අවසානයේදී, ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ ඒකාබද්ධ හඬ නියෝජනය කරමින් නිල ප්‍රකාශනයකට අත්සන් තැබිණි. මෙම ප්‍රකාශනය මගින් හඳුනාගත් ප්‍රධාන අභියෝග සහ ඒවාට විසඳුම් ඉදිරිපත් කර ඇති අතර, කාන්තාවන්ට සහ දැරියන්ට වඩාත් ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කරමින් රටේ අනාගතය සුරක්ෂිත කිරීමට එක්වන ලෙස සමස්ත ජාතියටම ඇරයුම් කර සිටියි.

    මෙම ව්‍යාපාරයේ සුවිශේෂී ලක්ෂණය වන්නේ සහභාගී වූ 50 දෙනෙකුගෙන් යුත් කාන්තා නායිකාවන්ගේ අඛණ්ඩ කැපවීමයි. ශ්‍රී ලංකාව ජාතියක් ලෙස සංවර්ධනය කරා ගෙන යාමට නම් කාන්තාවන්ගේ සහ දැරියන්ගේ සුභසාධනය අත්‍යවශ්‍ය බව විශ්වාස කරමින් ඔවුන් මෙම මෙහෙයුම ඉදිරියටම ගෙන යනු ඇත.

    ශ්‍යාමලා කලා පාසල සහ Unity Mission Trust විසින් එක්ව සංවිධානය කරන ලද 2026 ජාත්‍යන්තර කාන්තා දින වටමේස සමුළුවේ සහභාගිවූවන්. මෙහි විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයන්, ව්‍යවසායකයන් සහ ආයතනික ප්‍රධානීන්, ශ්‍යාමලා කලා පාසලේ කාර්ය මණ්ඩලය, දිවයින පුරා විසිරී සිටින Unity Mission Trust තරුණ නායකයන් සහ ශ්‍රී ලංකාවේ එඩිත් කෝවන් විශ්වවිද්‍යාලයේ (Edith Cowan University) ශිෂ්‍ය ස්වේච්ඡා සේවකයන් ඇතුළු සහභාගිවන්නන් 64 දෙනෙකු සිටියහ

     

    ඡායාරූප විස්තරය - ජාත්‍යන්තර කාන්තා දින සැසි මෙහෙයවන්නන් (වමේ සිට දකුණට): මිෂෙල් හර්ෆ්ට්, ආචාර්ය නදී දිසානායක, ප්‍රමිලා පෝල්රාජ්, ශ්‍යාමලා පින්ටෝ-ජයවර්ධන (සම්මන්ත්‍රණ සභාපතිනි), ආචාර්ය රන්සිරිණි ද සිල්වා, ලක්මාලි හපුආරච්චි, ආචාර්ය කුමාරංගි විතානගේ, විජුලා අරුලානන්දම්