March, 11, 2026
පසුගිය සඳුදා (09) දිනයේ දී ගෝලීය බොරතෙල් මිල මෑත කාලයේ වාර්තා වූ ඉහළම මිල සනිටුහන් කරමින් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 118.60ක් දක්වා ඉහළ ගියේය. මෙලෙස බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබුණේ වසර 3 1/2ක පමණ කාලයකින් පසුව වීම විශේෂත්වයකි.
මේ අතර ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන බොරතෙල් වර්ගය වන මර්බන් බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 120.75ක් දක්වා එදින ඉහළ ගොස් තිබුණි. කෙසේවෙතත් අද (11) වන විට මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 මට්ටමට වඩා පහළ අගයයකට පැමිණ තිබෙන දැකිය හැකි අතර ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 10.30 පමණ වන විට එහි අගය දැක්වුණේ ඩොලර් 99.57 ක් ලෙසිනි.

ශ්‍රී ලංකාවට බොරතෙල් ආනයනය සඳහා දෙනු ලබන කොන්ත්‍රාත්තුව කැබිනට් අනුමැතියට යටත්ව ප්රදානය කෙරෙනු ලබන අතර පසුගිය කාලයේ දී ශ්‍රී ලංකාවට මර්බන් බොරතෙල් ආනයන කොන්ත්‍රාත්තු Vitol Asia, BB Energy Asia, Aditya Birla Global Trading, යනා දී සිංගප්පූරු සමාගම්වලට වරින් වර ලබා දී තිබුණි.
මේ අතර වර්තමානයේ මෙරටට ආනයනය කරනු ලබන මර්බන් බොරතෙල් කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ සිංගප්පූරුවේ M/s BB Energy Asia Pte. Ltd සමාගමටයි. 2026-01-01 දින සිට 2026-04-30 දින දක්වා මාස හතරක (04) කාලයක් සඳහා මර්බන් වර්ගයේ බොරතෙල් නැව්තොග 04ක් මිල දී ගැනීම සඳහා, ගබඩාගත ටැංකිවලින් නිකුත් කිරීමේදී ගෙවීමේ ක්‍රමවේදය සහ ලංකා බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපියක් හරහා දින 30 කින් ගෙවීමේ ක්‍රමවේදය යන විකල්ප දෙක යටතේ අදාළ කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත.
තවද 2026-04-15 දින සිට 2026-08-14 දින දක්වා මාස හතරක කාලයක් වෙනුවෙන් මර්බන් වර්ගයේ බොර තෙල් බැරල් 2,800,000 ±5%ක් මිල දී ගැනීම සඳහා කොන්ත්‍රාත්තුව ප්රදානය කර ඇත්තේ සිංගප්පූරුවේ M/s. Vitol Asia Pte. Ltd. වෙතයි. එය බැරල් 700,000 ± 5% බැගින් වූ නැව් තොග 04ක් මිල දී ගැනීම සඳහා වූ දිගු කාලීන ප්රසම්පාදනයකි.
මර්බන් බොරතෙල් යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි නිෂ්පාදනය කරන්නකි. මෙය පිරිපහදුව සඳහා ඉතා පහසු පිරිසිදු, සැහැල්ලු සහ සල්ෆර් ගතිය අවම බොරතෙල් වර්ගයකි. එය පෙට්‍රල්, ඩීසල්, ගුවන් යානා ඉන්ධන වැනි නිෂ්පාදිත සඳහා ඉතා යෝග්‍ය බව පැවසේ. විශේෂයෙන්ම ආසියානු කලාපයට විශාල වශයෙන් මෙම මර්බන් බොරතෙල් වර්ගය අපනයන කෙරෙන අතර චීනය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව එහි ප්රමුඛ ගැනුම්කරුවන් වේ. එය ලෝක වෙළෙඳපොළේ WTI, බ්‍රෙන්ට් වැනි ප්‍රසිද්ධ බොරතෙල් වර්ගයන් හා සමාන වැදගත්කමක් දරනු ලබයි.
Video Story