කුන්මිං ජෛව විවිධත්ව අරමුදල් ව්‍යාපෘතිය සමග ජෛව විවිධත්ව ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමේ ගෝලීය පෙරමුණේ ශ්‍රී ලංකාව පළමු රටවල් අතර

    March, 12, 2026

    කුන්මිං ජෛව විවිධත්ව අරමුදල (KBF) යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලැබී ඇත. එමගින්, කුන්මිං-මොන්ට්‍රියල් ගෝලීය ජෛව විවිධත්ව රාමුව (Global Biodiversity Framework) ක්‍රියාත්මක කිරීමට යොමු වූ ලොව ප්‍රථම රටවල් කිහිපය අතරට එක්වීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා වී තිබේ.

    ගෝලීය ජෛව විවිධත්ව සම්මුති, ජාතික ක්‍රියාමාර්ග බවට පත් කිරීමේ ක්‍රියාවලියෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙය හැඳින්විය හැකිය.

    ශක්තිමත් ජාතික නායකත්වය සහ ජාත්‍යන්තර හවුල්කාරීත්වය සංකේතවත් කරමින් පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ නියෝජිත විම්ලේන්ද්‍ර ෂරන් මහතා විසින් පරිසර අමාත්‍යාංශයේදී මෙම ව්‍යාපෘති යෝජනාවට විධිමත් ලෙස අත්සන් තබන ලදී.

    පරිසර අමාත්‍යාංශය සහ දේශීය විශේෂඥවරුන් අතර පැවති සමීප සහයෝගීතාව හරහා සකස් කරන ලද මෙම යෝජනාව සම්පූර්ණයෙන්ම දේශීය නිර්මාණයකි. ගෝලීය ප්‍රතිඥා ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමුඛතා සහ යථාර්ථයන් මත පදනම්ව ක්‍රියාවට නැංවීම මෙමගින් තහවුරු කෙරේ.

    ආක්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට, පරිසර පද්ධතිවලට, කෘෂිකර්මාන්තයට සහ ජීවනෝපායන්ට එල්ල වී ඇති බරපතළ වර්ධනය වෙමින් පවතින තර්ජනයකි. මෙම අභියෝගය ජය ගැනීම සඳහා හදිසි, සම්බන්ධීකරණය කරන ලද සහ පද්ධතිමය මට්ටමේ ජාතික ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍ය ය.

    ශක්තිමත් ජාතික නායකත්වය සහ ජාත්‍යන්තර හවුල්කාරීත්වය ඔස්සේ ක්‍රියාත්මක ව්‍යාපෘති මට්ටමේ මැදිහත්වීම්වල සිට ඒකාබද්ධ ජාතික ජෛව ආරක්ෂණ පද්ධතියක් (National Biosecurity System) දක්වා සිදුවන පරිවර්තනීය වෙනසක් සනිටුහන් කරමින්, ඉහත දක්වන ලද අවශ්‍යතාවට සෘජුවම ප්‍රතිචාර දක්වයි. ආක්‍රමණශීලී විශේෂ වැළැක්වීම, කල් තියා හඳුනා ගැනීම, කඩිනම් ප්‍රතිචාර දැක්වීම සහ දිගුකාලීන කළමනාකරණය රට පුරා ආයතනගත කිරීම මෙම වැඩසටහන මගින් කටයුතු කරනු ඇත.

    පරිසර අමාත්‍යාංශයේ නායකත්වයෙන් සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා, ආක්‍රමණශීලී විශේෂ කළමනාකරණයට අදාළ ප්‍රතිපත්ති, නීති සහ ආයතනික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගනු ඇත.

    2015 වසරෙන් පසු ප්‍රථම වරට ආක්‍රමණශීලී විශේෂයන්ගේ ජාතික ප්‍රමුඛතා ලැයිස්තුව යාවත්කාලීන කිරීම, ජාතික ඩිජිටල් අධීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම සහ දියුණු මෙවලම් හා බලාත්මක කිරීමේ ශක්‍යතාව ඉහළ නැංවීම මගින් දේශසීමා පාලනය ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන මැදිහත්වීම් අතර වේ.

    ප්‍රජාව පදනම් කරගත් පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය සහ අන්තර්ග්‍රාහී ජීවනෝපායන් මෙම ව්‍යාපෘතියේ කේන්ද්‍රීය ප්‍රවේශයයි. ස්ථානීයව තුරන් කිරීමේ ප්‍රයත්න, පසු අධීක්ෂණ කටයුතු සහ නව්‍ය 'භාවිතය හරහා තුරන් කිරීමේ' ආකෘති එයට ඇතුළත් වේ. පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කරන අතරතුර කාන්තාවන්ට, තරුණ තරුණියන්ට සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට ආර්ථික අවස්ථා ජනනය කිරීම මෙම ආකෘති මගින් සිදු කෙරේ.

    ජෛව විවිධත්ව ක්‍රියාමාර්ග පුළුල් කිරීමටත්, ආක්‍රමණශීලී විශේෂ කළමනාකරණයේ දීර්ඝ කාලයක් පුරා පැවති ආයෝජන අඩුපාඩු පියවා ගැනීමටත්, FAOහි තාක්ෂණික සහාය ලබා ගැනීමටත් ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක කළ හැකි උත්ප්‍රේරක ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් කුන්මිං ජෛව විවිධත්ව අරමුදල මගින් සපයනු ලැබේ. කෙටි කාලීන ව්‍යාපෘති ප්‍රතිඵල වෙනුවට පද්ධති මට්ටමේ දිගුකාලීන පරිවර්තනයක් ඇති කිරීම මෙම සහයෝගීතාවෙහි අරමුණයි. ජෛව විවිධත්ව අපේක්ෂාවන් ස්ථිර, තිරසර ජාතික ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කිරීම සඳහා ආදර්ශයක් ද මෙමගින් සැපයේ.

     

    (වමේ සිට) ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ FAO නියෝජිත විම්ලේන්ද්‍ර ෂරන් මහතා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා, ශ්‍රී ලංකා FAOහි පරිසර හා දේශගුණික විපර්යාස විශේෂඥ දක්ෂිණී පෙරේරා මහත්මිය, සහකාර FAO නියෝජිත (වැඩසටහන්) නලින් මුණසිංහ මහතා, පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිසර ව්‍යාපෘති සහ අධ්‍යාපන පුහුණු) ඩබ්ලිව්. ජී. කුමාරගම මහත්මිය, පරිසර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ජෛව විවිධත්ව අංශය) ආචාර්ය ඒ. එම්. ඒ. එස්. අත්තනායක සහ පරිසර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ජාත්‍යන්තර සබඳතා) කුලනි එච්. ඩබ්ලිව්. කරුණාරත්න මහත්මිය පරිසර අමාත්‍යාංශයේ පැවති අත්සන් තැබීමේ උත්සවයේදී.