2026 ටයිම්ස් හයර් එඩියුකේෂන්” ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලය ලෙස SLIIT යළිත් ඇගයීමට ලක්වෙයි

    March, 13, 2026

    ලොව පිළිගත් ටයිම්ස් හයර් එඩියුකේෂන් (THE) 2026 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනය ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ඇගයීමට ලක්ව ඇත. මෙම පිළිගැනීම SLIIT ආයතනයේ ශාස්ත්‍රීය කීර්තිනාමය සහ ආයතනික කාර්යසාධනය ජාත්‍යන්තර තලයේ ශක්තිමත් වී ඇති බව මැනවින් පිළිඹිබු කරයි.

    මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ මහාචාර්ය ලලිත් ගමගේ මහතා සඳහන් කළේ, "අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනය ලෙස ඇගයීමට ලක්වීම අප ලැබූ සුවිශේෂී සාර්ථකත්වයක් බවයි. මෙම 2026 ශ්‍රේණිගත කිරීම් හරහා අප පිරිනමන ඉගැන්වීම් රටාව, පර්යේෂණ කටයුතු, දැනුම හුවමාරු කිරීම සහ ජාත්‍යන්තර දැක්ම කෙතරම් ගුණාත්මක ද යන්න තහවුරු වනවා. විශ්වවිද්‍යාලයක් යනු සමාජ ප්‍රගමනයේ සහ පරිවර්තනයේ නියමුවා විය යුතුයි යන ප්‍රතිපත්තිය මත පිහිටා ක්‍රියා කරන SLIIT ආයතනය, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනාගතයට ප්‍රබල බලපෑමක් කිරීමට සමත් වී ඇති බව මෙයින් මනාව පැහැදිලි වනවා." යනුවෙනි.

    පරිගණක විද්‍යාව විෂය ධාරාවෙන් ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අතරින් ප්‍රථම ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය, සමස්ත ලංකාවේම දෙවන ස්ථානය මෙන්ම ගෝලීය වශයෙන් 1000+ කාණ්ඩයේ ශ්‍රේණිගත වීමට ද සමත් විය. එමෙන්ම ඉංජිනේරු විද්‍යාව විෂය ධාරාවෙන් ද රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අතරින් ප්‍රථම ස්ථානයත්, දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල අතර සම දෙවන ස්ථානයත් දිනාගනිමින් ගෝලීය වශයෙන් 1250+ කාණ්ඩයට ඇතුළත් වී ඇත. කර්මාන්ත ක්ෂේත්‍රය සමඟ පවතින සබඳතාවය සහ සහයෝගීතාවය ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් ගණනාවක් ඔස්සේ මෙම ඇගයීම් සිදු කර තිබීම විශේෂත්වයකි.

    තවද මෙම විශිෂ්ට ගමන්මග පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්‍යයන අංශයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය රාහුල අත්තලගේ මහතා ප්‍රකාශ කළේ, අධ්‍යයන පාඨමාලා, පර්යේෂණ සහ කර්මාන්ත ක්ෂේත්‍රය සමඟ පවතින සබඳතා ශක්තිමත් කිරීමට ගනු ලැබූ සෑම උත්සාහයකම ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකේය මෙන්ම ගෝලීය සන්දර්භය තුළ ද මෙවැනි ප්‍රබල ස්ථානයක් දිනා ගැනීමට SLIIT ආයතනයට හැකි වූ බවයි. ලෝක මට්ටමේ ප්‍රමිතීන්ට අනුගත අධ්‍යාපනයක් ලබා දෙමින් නවෝත්පාදනය සහ ජාතික සංවර්ධනය උදෙසා සිය දායකත්වය අඛණ්ඩව සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලය ලෙස සිය ස්ථාවරය තවදුරටත් තහවුරු කිරීමට SLIIT ආයතනය මෙලෙස සමත්ව ඇත.                                                                                                                   

    Video Story

    Stock Market

    Exchange Rates