ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ 14 වන සභාපතිවරයා ලෙස ආචාර්ය චාමර බණ්ඩාර මහතා පත්වේ

    March, 16, 2026

    ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතන (AAT Sri Lanka) ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරමින්, 14 වන සභාපතිවරයා ලෙස පත්වන ආචාර්ය චාමර බණ්ඩාර මහතාගේ පදවිප්‍රාප්ති උත්සවය 2026 මාර්තු 11 වන දින කොළඹ ෂැන්ගිලා හෝටලයේදී පැවැත්විණි.

    "THINK BEYOND” යන තේමාව යටතේ පැවති මෙම උත්සවය සඳහා, ගණකාධිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ට වෘත්තීයවේදීන්, ව්‍යාපාර ප්‍රධානීන් සහ ආයතනයේ සාමාජිකයන් රැසක් සහභාගී විය.

    මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස Epic Technology Group සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය නයන දෙහිගම මහතා සහභාගී වූ අතර, ගෞරවනීය අමුත්තා ලෙස ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ (CA Sri Lanka) සභාපති ටිෂාන් සුබසිංහ මහතා සහභාගී විය.

    ආචාර්ය චාමර බණ්ඩාර මහතාගේ පත්වීම, AAT ශ්‍රී ලංකා ආයතනික ගමන් මඟෙහි නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරයි. දූරදර්ශී නායකත්වයක් ඔස්සේ මෙරට ගණකාධිකරණ වෘත්තිකයන්ගේ අනාගතය හැඩගස්වන ප්‍රමුඛතම ආයතනය ලෙස AAT ශ්‍රී ලංකා තවදුරටත් බලගැන්වීම එතුමාගේ මූලික දැක්මයි.

    ආචාර්ය බණ්ඩාර මහතා 2012 සිට 2015 දක්වා කාලය තුළ AAT ශ්‍රී ලංකා පාලන සභික සාමාජිකයෙකු ලෙස සේවය කර ඇති අතර, පසුව 2020-2023 කාලය සඳහා නැවතත් සභා මණ්ඩලයට තේරී පත්වමින් ආයතනයේ උපාය මාර්ගික දිශානතිය සැකසීමට දායකත්වය ලබා දී ඇත.

    විශිෂ්ට කැපවීම සහ නායකත්වය පිළිබිඹු කරමින්, 2024- 2025 කාලය සඳහා AAT ශ්‍රී ලංකා ආයතනයේ උප සභාපතිවරයා ලෙස ආචාර්ය චාමර බණ්ඩාර මහතා තේරී පත්වූ අතර, එහිදී පාලන කටයුතු ශක්තිමත් කිරීම, පාර්ශවකරුවන් සමඟ සබඳතා වර්ධනය කිරීම සහ ආයතනයේ වෘත්තීය හා අධ්‍යාපනික අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා ඔහු වැදගත් භූමිකාවක් ඉටු කළේය.

    සභාපතිවරයාගේ කථාවෙන්

    මෙම අවස්ථාව අමතමින් ආචාර්ය චාමර බණ්ඩාර මහතා ගණකාධිකරණ වෘත්තීය ක්ෂේත්‍රයේ වේගයෙන් වෙනස් වන පරිසරය සමඟ අනුගත වීමේ වැදගත්කම අවධාරණය කළේය.

    “හෙට දවසේ ගණකාධිකාරීවරයා සරලවම ගණුදෙනු සටහන් කරන අයෙකු පමණක් නොවනු ඇත. ඔවුන් සංකීර්ණ මූල්‍ය පද්ධති විග්‍රහ කරමින්, ඩිජිටල් තාක්ෂණයන් ඒකාබද්ධ කරමින් සහ පාලනය, ආචාරධර්ම සහ විශ්වාසය ආරක්ෂා කරමින් ක්‍රියා කරන වෘත්තීයවේදීන් වනු ඇත. වෘත්තිය අනුකූලතාවයෙන් බුද්ධිමත් විග්‍රහයටත්, අතීත දත්ත වාර්තා වාර්තා කිරීමෙන් අනාගතය පුරෝකථනය කිරීමටත් පරිවර්තනය වන මේ සන්ධිථානයේ දී අප සාම්ප්‍රදායික සීමා ඉක්මවා සිතීම අත්‍යවශ්‍යයි. ඒ නිසාම අද දවසේ අපේ තේමාව 'Think Beyond' අර්ථ සම්පන්න මෙන්ම බලවත් තේමාවක් බව සහතිකයි.

    තවදුරටත් ඔහු සඳහන් කළේ, "Think Beyond" යන අදහස තුල ගැබ්ව ඇත්තේ ආයතන හා වෘත්තීයවේදීන් දෙපාර්ශවයම භූගෝලීය සීමා, පැරණි චින්තන ක්‍රම සහ නව අභියෝග ජයගනිමින්, වේගයෙන් වෙනස් වන ලෝකයක අදාළව පවතින ලෙස පරිවර්තනය වීමේ අවශ්‍යතාවය බවයි.
    මෙම පදවිප්‍රාප්ති උත්සවයේදී AAT ශ්‍රී ලංකා හිටපු සභාපති වන ඉන්දුක ලියනගේ මහතාගේ දායකත්වයද සම්මානයට ලක් කළ අතර, ආයතනය ඔහුගේ නායකත්වය යටතේ අඛන්ඩ වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය.

    1987 වසරේදී ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අනුමැතියට අනුව ශ්‍රී ලංකාවේ සුදුසුකම් ලත් ගණකාධිකරණ වෘත්තීයවේදීන්ගේ හිඟය පිරවීම සඳහා AAT ශ්‍රී ලංකා ආයතනය ආරම්භ කරන ලදී. කාලයත් සමඟ මෙම ආයතනය රටේ ප්‍රමුඛ වෘත්තීය ආයතනයක් ලෙස වර්ධනය වී ඇති අතර, පාසල් අවධියේදීම ශ්‍රී ලාංකේය දරුවන්ට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වෘත්තීය සුදුසුකම් හඳුන්වා දීමෙන්, අනාගත පරපුර සවිබල ගන්වා ඔවුන් ජාතික ආර්ථීක සංවර්ධනයට සක්‍රීයව දායක කරවීම සාර්ථකව සිදුකර ඇත.

    AAT ශ්‍රී ලංකා විභාග සහ අධ්‍යාපනික මාර්ගයන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ලබා දෙන අතර, රට පුරා විවිධ පසුබිම්වල සිසුන්ට මෙම අධ්‍යාපන අවස්ථාවන් ලබාගැනීමට පහසුකම් සලසයි. 2017 වසරේදී International Federation of Accountants (IFAC) හි සම්පූර්ණ සාමාජිකත්වය සහ 2015 වසරේදී Confederation of Asian and Pacific Accountants (CAPA) හි සම්පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමත් සමඟ AAT ශ්‍රී ලංකා ජාත්‍යන්තර මට්ටමින්ද ශක්තිමත් පිළිගැනීමක් ලබා ඇත.