ශ්‍රී ලංකාවේ ඊළඟ පරම්පරාවේ වේග පන්දු යවන්නන්ගේ බල ඇණිය නිර්මාණය කරන්නට ‘Singer Pace Hunt with Lasith Malinga’ ආරම්භ වේ

    March, 16, 2026

    ශ්‍රී ලංකාවේ ඊළඟ පරම්පරාවේ වේග පන්දු යවන්නන් හඳුනාගෙන ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කිරීම අරමුණු කරගත් ජාතික වේග පන්දු යැවීමේ කුසලතා සොයා යන පුහුණු වැඩසටහනක් සිංගර් සමාගම විසින් ආරම්භ කරනු ලැබීය. ලෝක පූජිත වේග පන්දු යවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වූ ලසිත් මාලිංග සහ සිංගර් සමාගම එක්ව දියත් කරනු ලබන මෙම වැඩසටහන ‘Singer Pace Hunt with Lasith Malinga’ නමින් නම් කොට ඇත.

    මෙම වැඩසටහනේ මංගල තේරීම් සැසිය සුගතදාස ක්‍රීඩාංගනයේදී පසුගියදා පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අපේක්ෂා කරන, දිවයින පුරා තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් සහභාගී විය. වයස අවුරුදු 17ත් 22ත් අතර වේග පන්දු යවන්නන් සඳහා නිර්මාණය කර ඇති මෙම වැඩසටහන, දක්ෂතා ඇති ක්‍රීඩකයින් හඳුනාගෙන වෘත්තීය ක්‍රිකට් මාවතකට මඟ පෙන්වීමට උත්සාහ කරයි.

    මෙම වැඩසටහනට ඉතා ඉහළ ප්‍රතිචාර හිමි විය. රට පුරා තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් අයදුම්පත් 3,000කට අධික සංඛ්‍යාවක් මේ සඳහා ලැබී තිබුණි. එයින් අයදුම්කරුවන් 350 දෙනෙකු පළමු තේරීම් අදියරට සහභාගී වීම සඳහා තෝරා ගන්නා ලද අතර, ඔවුන්ගේ ශක්තිය සහ මලල ක්‍රීඩා හැකියාව තක්සේරු කිරීම සඳහා කිලෝමීටර 2ක දුරක යෝග්‍යතා සහ දරාගැනීමේ ධාවන තරගයක් ඇතුළත්ව තිබුණි.

    යෝග්‍යතා තක්සේරුව සාර්ථකව සම්පූර්ණ කළ අය ඊළඟ වටයේ ඇගයීම් සඳහා යොමු වූ අතර, එහිදී ඔවුන්ට පැයට කිලෝමීටර 135 ඉක්මවන පන්දු යැවීමෙන් තම පන්දු යැවීමේ වේගය පෙන්නුම් කිරීමට අවශ්‍ය විය. අවශ්‍ය මිණුම් ලකුණ සාර්ථකව සපුරා ගත් තරගකරුවන්ට ඉදිරි වසරේදී ලසිත් මාලිංගගේ මගපෙන්වීම යටතේ මඟ පෙන්වීම සහ පුහුණුව ලබා දෙන වැඩසටහනේ ඊළඟ අදියරට සහභාගී වීමට අවස්ථාව හිමි විය.

    මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් ලසිත් මාලිංග මෙසේ පැවසීය, “ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මට ලබා දුන් සියල්ල, නැවත ලබා දීමට තමයි මම මේ වැඩසටහන ආරම්භ කළේ. ක්‍රීඩාවේ වර්ධනයට සහාය වීමත්, අපේ කණ්ඩායම අඛණ්ඩව දියුණු කිරීම උපකාර කිරීමත් තමයි මගේ අධිෂ්ඨානය. අපේ රටේ ක්‍රිකට් දියුණු කරන්නට හැකි සෑම අවස්ථාවක්ම ලබා දෙන්න මම උත්සාහ කරනවා. මේ මුලපිරීමට සහාය වීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සිංගර් ශ්‍රී ලංකා සමාගමට සහ ඔවුන්ගේ අඛණ්ඩ දිරිගැන්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මම ස්තූතිවන්ත වෙනවා.”

    "ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සවිබල ගන්වන්නට සහ එහි සැබෑ ශක්තිය නැවත සොයා යන්නට බලාපොරොත්තු වන මොහොතක, ඊළඟ පරම්පරාවේ ක්‍රීඩකයින් පෝෂණය කරන මුලපිරීමක් වෙනුවෙන් සහාය වීමට මෙය සුදුසුම අවස්ථාවක් බව අපට හැඟුණා. 1996 ක්‍රිකට් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව ලැබූ ඓතිහාසික ජයග්‍රහණයේ ගමන්මගට සවියක් වූ අයුරින්ම සිංගර් සන්නාමය, මේ සුවිශේෂී මොහොතේ, ලසිත් මාලිංග සමඟ එක්වී, අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට විජයග්‍රාහී අනාගතයක් වෙනුවෙන් දායක වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා," යනුවෙන් සිංගර් ශ්‍රී ලංකා සමූහ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා පැවසීය.

    සිංගර් ශ්‍රී ලංකා සහ Honor යන සමාගම් දෙකම රටේ ක්‍රිකට් සමඟ දිගුකාලීන සබඳතා පවත්වන අතර, එය ක්‍රීඩාවේ දියුණුව සඳහා ඇති ගැඹුරු කැපවීම පිළිබිඹු කරයි. 1996 ලෝක කුසලාන ජයග්‍රහණය ඇතුළුව දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අභිලාෂයන්ට සිංගර් සහාය ලබා දී ඇති අතර, මෑත වසරවලදී පිරිමි සහ කාන්තා ජාතික කණ්ඩායම් දෙකටම අනුග්‍රහය දක්වමින් හොනර් මෙම උරුමය පුළුල් කර ඇත.

    Singer Pace Hunt with Lasith Malinga මෙම වසරේ පැවැත්වීමට නියමිත කුසලතා හඳුනාගැනීමේ පුහුණු සැසි කිහිපයකින් පළමුවැන්න නියෝජනය කරයි. වැඩසටහනේ අවසානයේ දී, ඉහළම දක්ෂතා දක්වන ක්‍රීඩකයින් 20 දෙනාට ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු යැවීමේ ඇකඩමියේ තේරීම් සඳහා නිර්දේශ වීමට අවස්ථාව ලැබෙනු ඇති අතර එමඟින් ඔවුන්ට වෘත්තීය ක්‍රිකට් සඳහා සෘජු මාර්ගයක් ලබා දෙනු ඇත. වෘත්තීය මාර්ග සහ සැබෑ තරඟ අත්දැකීම් සමඟ තරුණයින් සම්බන්ධ කිරීමෙන්, මෙම වැඩසටහන රටේ ක්‍රිකට් අනාගතයට කල් පවතින බලපෑමක් ඇති කිරීම සහ රට පුරා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීම ද අරමුණු කරයි.