March, 16, 2026
2025 නොවැම්බර් අගභාගයේදී ඇති වූ 'දිට්වා' (Ditwah) සුළි කුණාටුවෙන් සිදු වූ දැඩි හානි හේතුවෙන්, තුරුලි (Thurulie) කර්මාන්තශාලාවේ නිෂ්පාදන මෙහෙයුම් MAS සමූහයට අයත් අනෙකුත් තදාසන්න කර්මාන්තශාලා වෙත රැගෙන යාමට MAS සමූහයේ කළමනාකාරීත්වය තීරණය කර තිබෙන බව අද (16) දින එහි සේවක මණ්ඩලයට දැනුම් දී තිබේ. තුල්හිරියේ පිහිටි MAS ෆැබ්රික් පාක් (MAS Fabric Park - MFP) තුළ MAS සහ එහි හවුල්කරුවන් විසින් පවත්වාගෙන යනු ලබන කර්මාන්තශාලා කිහිපය අතරින් තුරුලි යනු එක් මධ්‍යස්ථානයක් පමණි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් තුරුලි ආයතනයට සිදු වූ බරපතල විනාශයෙන් පසුව එහි මෙහෙයුම් යථා තත්ත්වයට පත් කරගැනීමට ප්‍රබල උත්සාහයක් දැරුවද, සුළි කුණාටුවෙන් කර්මාන්තශාලාවට සහ එහි යන්ත්‍රෝපකරණවලට සිදුව ඇති දැඩි හානිය හේතුවෙන් දිගුකාලීන වශයෙන් එම පරිශ්‍රය තුළ කර්මාන්තශාලාවක් පවත්වාගෙන යෑම අවදානම් සහගත බව තාක්ෂණික ඇගයීම් මගින් පෙන්වා දී තිබේ. තුරුලි ආයතනය පහත් බිමක පිහිටා තිබීමත්, ඒ අවට ඇති ස්වභාවික ජල මාර්ග නිසාත් 'දිට්වා' සුළි කුණාටුවේදී මෙන්ම ඊට පෙරත් අවස්ථා දෙකකදී ගංවතුර තර්ජනයට ලක් වූ බැවින් ඉදිරියේදීත් එවැනි අවදානම් සහගත තත්ත්වයක් ඇති වීමේ ඉහළ සම්භාවිතාවක් ඇති බව නිරීක්ෂණය වී ඇත.
මෙවැනි තත්ත්වයක් යටතේ මෙහෙයුම් පවත්වාගෙන යාම සේවකයින් සහ ව්‍යාපාරික කටයුතු අනවශ්‍ය අවදානමකට ලක් කිරීමක් බව MAS සමූහයේ විශ්වාසයයි. ඒ අනුව, මෙම ස්ථානයේ තවදුරටත් ඇඟලුම් නිෂ්පාදන කටයුතු සිදු කිරීම දිගුකාලීනව තිරසාර නොවන බව තීරණය කර ඇති අතර, එහි සේවකයින් සහ නිෂ්පාදන කටයුතු MAS සමූහයට අයත් අනෙකුත් ආසන්න ආයතන වෙත මාරුකිරීමට පියවර ගෙන තිබේ.
රැකියා සුරක්ෂිතතාව, වන්දි සහ අනෙකුත් ලැබීම්
තුරුලි ආයතනය වෙත ලැබෙන ඇණවුම් අනෙකුත් කර්මාන්තශාලා වෙත යොමු කරන බැවින්, සියලුම සේවකයින්ට MAS සමූහය තුළම රැඳී සිටින්නට අවශ්‍ය උපරිම දිරිගැන්වීම සිදුකරනු ලැබේ. සුළි කුණාටුවෙන් පසුව දැනටමත් සේවකයින් 500කට අධික පිරිසක් අසල පිහිටි අනෙකුත් MAS ආයතනවල සේවය කරන අතර, ඉතිරි 1,600ක සේවක මණ්ඩලය සඳහා ස්ථිර ස්ථාන මාරුවීම් සහ විකල්ප ලබා දීමට කළමනාකාරීත්වය ඔවුන් සමඟ සමීපව කටයුතු කරමින් සිටී. එසේම වෙනත් ස්ථානයක සේවය කිරීම සඳහා කැමැත්ත පළ කරන සේවකයින්හට මාස 3ක වැටුප් දිරි දීමනාවක් ලබා දීමටද පියවර ගෙන ඇති බව සඳහන් කරයි. තුරුලි ආයතනයේ සිටින පළපුරුදු කණ්ඩායම් සාමාජික සාමාජිකාවන් රැක ගැනීම ආයතනයට මෙන්ම එහි ගනුදෙනුකරුවන්ටත් ඉතා වැදගත් බැවින්, ශ්‍රී ලංකාව පුරා විහිදුණු MAS සමූහයට අයත් අනෙකුත් සුදුසු සේවා ස්ථාන වෙත ඔවුන් යොමුකිරීම MAS සමූහයේ ප්රමුඛ අරමුණ වී තිබේ.
පුද්ගලික හේතූන් මත මෙලෙස ස්ථාන මාරුවීම් ලබා ගැනීමට අපහසු සේවකයින් සඳහා, නීතිමය අවශ්‍යතාවලට වඩා වැඩි වන්දි මුදලක් ලබාදීම, අප්‍රේල් මස ප්‍රසාද දීමනා ලබාදීම මෙන්ම අතිරික්ත නිවාඩු දිනයන් සඳහා අදාළ ගෙවීම් සිදුකිරීමටත් MAS සමූහය කටයුතු යොදා ඇත. මෙම සමස්ත ක්‍රියාවලියම කම්කරු නීති රීතිවලට අනුකූලව සහ අදාළ බලධාරීන්ගේ අනුමැතිය ඇතිව සිදුවන්නේ ඉහළම විනිවිදභාවයකින් යුතුවයි.
MAS සමූහයේ අනෙකුත් සියලුම කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන අතර, මෙහෙයුම් ස්ථාවරත්වය පවත්වා ගනිමින් ගෝලීය ගැණුම්කරුවන් වෙත ලබා දී ඇති පොරොන්දු ඉටු කිරීමට ආයතනය උපරිමයෙන් කැපවී කටයුතු කරන බව සඳහන් කරයි.
තුරුලි සතු සුවිශේෂ උරුමය
තුරුලි ආයතනය යනු MAS සමූහයට පමණක් නොව සමස්ත ලෝකයටම සුවිශේෂ වූ කර්මාන්තශාලාවකි. මෙම තුරුලි ආයතනය ඉදි කරන අවධියේදී සාමාන්‍ය කර්මාන්තශාලාවකට වඩා 40%ක් අඩුවෙන් බලශක්තියත්, 50%ක් අඩුවෙන් ජලයත් භාවිතා වන, LEED Platinum සහතිකය ලැබූ ලොව ප්‍රථම හරිත ඇඟලුම් කර්මාන්තශාලාව ලෙස පිළිගැනීමට ලක් විය. ස්වභාවික ආලෝකය, ස්වභාවික වාතාශ්‍රය සහ හරිත වහලයකින් සමන්විත වූ මෙම පරිශ්‍රය තුළ MAS සමූහය විසින් ප්‍රථම වරට සූර්ය පැනල පද්ධතියක් ස්ථාපිත කළේ 2008 වසරේදීයි. මෙවැනි සුවිශේෂ ලක්ෂණ සමඟ තිරසාරත්වයේ සලකුණක් වූ තුරුලි ආයතනය ස්ථානීය වශයෙන් බලපාන, ස්වභාවික ආපදා හේතුවෙන් ඇති වන අවදානම හමුවේ මෙලෙස මෙහෙයුම් නැවැත්වීමට සිදුවීම කණගාටුවට කරුණකි.