ප‌ෝට් සිටියේ ඉදිකෙරෙන මහල් නිවාස ගැන මුදල් කාරක සභාවේ දී තීරණයක්

    March, 17, 2026

    දේපල සංවර්ධන කටයුතු සිදුකරන මෙරට ආයතන ශ්‍රී ලාංකිකයින් සඳහා වරාය නගරයේ මහල් නිවාස අලෙවි කරන බව දැන්වීම් මගින් ප්‍රචාරය කිරීම පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානයට ලක් වී තිබේ. මේ අතර මෙය වරාය නගරය අපේක්ෂාවන්ට අනුකූලදැයි ද එම කාරක සභාවේ දී සාකච්ඡාවට ලක්කර ඇත.

    2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2469/02 දරන අතිවිශේෂ ගැසට් පත්රයේ පළ කරන ලද නිවේදන සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගිය දා ලබා දුන් අතර
    රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් 2026.03.10 දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාළ අනුමැතිය ලබා දී ඇත. එහිදී වරාය නගරයේ මහල් නිවාස අලෙවි කිරීම ප්‍රවර්ධනය සම්බන්ධ කාරණය මතු වූ අවස්ථාවේ දී ඒ සම්බන්ධයෙන් පහත කරුණු අනාවරණය වී තිබේ.

    බලයලත් තැනැත්තන් ලෙස නම්කර නොමැති ශ්‍රී ලාංකික සමාගම් දෙකක්, ශ්‍රී ලාංකිකයින් සඳහා වරාය නගරයේ මහල් නිවාස අලෙවි කරන බව දැන්වීම් මගින් ප්‍රචාරක කටයුතු සිදුකරන බවත් එම සමාගම් විසින් මූලික ගෙවීමක් සිදුකර ඇති නමුත් වරාය නගරය කොමිෂන් සභාවේ අනුමතිය මෙතෙක් ලබාදී නොමැති බැවින් එලෙස ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම නතර කරන ලෙස (cease and desist) ඔවුන්ට ලිඛිතව දැනුම්දී ඇති බවත් කොමිෂන් සභා සභාපතිවරයා එහිදී අවධාරණය කර ඇත. ඉඩම් බදු කුලිය ගෙවීමට ශ්‍රී ලංකා රුපියල් භාවිතා කළ හැකි වුවද, මුළු ඉදිකිරීම් පිරිවැය විදේශ විනිමය මූලාශ්‍රයකින් සිදුකළ යුතු බවත් ඔහු පැවසීය.

    ඒ සඳහා විදේශ ණය හෝ විදේශිකයන් සමග සිදුකරන විකුණුම් ගනුදෙනුවක් භාවිත කළ හැකි බව කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේය. විදේශිකයන්ට ඉඩම් පැවරීම සීමා කිරීම සඳහා වන ‘ඉඩම් (සන්තකය පැවරීම සීමාකිරීම) පනත’ මගින් සීමා කර නොමැති ශ්‍රී ලාංකික පුරවැසියන්ට රුපියල්වලින් මහල් නිවාස විකිණිය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.