March, 19, 2026
මේ වන විට ගෝලීය ඉන්ධන වෙළෙඳපොළෙ හි බොරතෙල් මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.30 පමණ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 116 සීමාව ඉක්මවා ගොස් තිබෙනු නිරීක්ෂණය කළ හැකි විය.
මේ අතර මර්බන් වර්ගයේ බොරතෙල් මිල ද මෑත ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් බැරලයක් ඩොලර් 126 සීමාව ඒ වන විට ඉක්මවා ගොස් තිබුණි. මර්බන් බොරතෙල් ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ පසුගිය කාලයේ දී වැඩි වශයෙන් එම බොරතෙල් වර්ගය ශ්‍රී ලංකාවට ආනයනය කර තිබුණු බැවිනි. එසේම ඉදිරි කාලය සඳහා මර්බන් බොරතෙල් ආනයනය සඳහා කොන්ත්‍රාත්තු ලබා දීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබුණි.
පසුගිය කාලයේ දී ශ්‍රී ලංකාවට මර්බන් බොරතෙල් ආනයන කොන්ත්‍රාත්තු Vitol Asia, BB Energy Asia, Aditya Birla Global Trading, යනා දී සිංගප්පූරු සමාගම්වලට වරින් වර ලබා දී තිබුණි.
මේ අතර වර්තමානයේ මෙරටට ආනයනය කරනු ලබන මර්බන් බොරතෙල් කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ සිංගප්පූරුවේ M/s BB Energy Asia Pte. Ltd සමාගමටයි. 2026-01-01 දින සිට 2026-04-30 දින දක්වා මාස හතරක (04) කාලයක් සඳහා මර්බන් වර්ගයේ බොරතෙල් නැව්තොග 04ක් මිල දී ගැනීම සඳහා, ගබඩාගත ටැංකිවලින් නිකුත් කිරීමේදී ගෙවීමේ ක්‍රමවේදය සහ ලංකා බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපියක් හරහා දින 30 කින් ගෙවීමේ ක්‍රමවේදය යන විකල්ප දෙක යටතේ අදාළ කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත.
තවද 2026-04-15 දින සිට 2026-08-14 දින දක්වා මාස හතරක කාලයක් වෙනුවෙන් මර්බන් වර්ගයේ බොර තෙල් බැරල් 2,800,000 ±5%ක් මිල දී ගැනීම සඳහා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර ඇත්තේ සිංගප්පූරුවේ M/s. Vitol Asia Pte. Ltd. වෙතයි. එය බැරල් 700,000 ± 5% බැගින් වූ නැව් තොග 04ක් මිල දී ගැනීම සඳහා වූ දිගු කාලීන ප්‍රසම්පාදනයකි.
කෙසේවෙතත් ඉදිරියේදී පැන නැගෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විමසමින්, මාස 03ක කාලයක් සඳහා සම්මත ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් පරිබාහිරව ඛනිජතෙල් හා ඛනිජතෙල් ආශ්‍රිත නිෂ්පාදන, ද්‍රව පෙට්‍රෝලියම් වායුව (LP ගෑස්) සහ ගල් අඟුරු ප්‍රසම්පාදනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට මෙම සතියේ දී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබුණි.
මර්බන් බොරතෙල් යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි නිපදවනු ලබන බොරතෙල් වර්ගයකි. මෙය පිරිපහදුව සඳහා ඉතා පහසු පිරිසිදු, සැහැල්ලු සහ සල්ෆර් ගතිය අවම බොරතෙල් වර්ගයක් ලෙසින් සැලකේ. එය පෙට්‍රල්, ඩීසල්, ගුවන් යානා ඉන්ධන වැනි නිෂ්පාදිත සඳහා ඉතා යෝග්‍ය බව පැවසේ. විශේෂයෙන්ම ආසියානු කලාපයට විශාල වශයෙන් මෙම මර්බන් බොරතෙල් වර්ගය අපනයන කෙරෙන අතර චීනය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව එහි ප්‍රමුඛ ගැනුම්කරුවන් වේ. එය ලෝක වෙළෙඳපොළේ WTI, බ්‍රෙන්ට් වැනි ප්‍රසිද්ධ බොරතෙල් වර්ගයන් හා සමාන වැදගත්කමක් දරනු ලබයි.
Video Story