ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත, ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතා මෙරට ප්‍රමුඛතම ආර්ථික නායකයින් කිහිප දෙනෙකු හමුවී තිබේ. භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සහ වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරාජා යන මහත්වරුන් ඒ අතර විය.
මේ සම්බන්ධයෙන් මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසන්නේ, වරාය, බලශක්ති, ගුවන් සේවා සහ ඩිජිටල් අංශ ඇතුළුව, ශ්රී ලංකාව තුළ එක්සත් ජනපද පෞද්ගලික අංශයට තවමත් පූර්ණ ලෙස භාවිතයට නොගෙන ඇති වැදගත් ආයෝජන අවස්ථා බහුලව පවතින බවයි.
ඒ අනුව එක්සත් ජනපදයේ ආර්ථික හවුල්කාරිත්වය සහ ව්යාපාරික සබඳතා සම්පූර්ණ විභවයට ළඟා කරගැනීමේ මාර්ග සොයා බැලීමට විශේෂ නියෝජිත ගෝර් මහතා ප්රධාන ආර්ථික නායකයන් හමුවූ බව මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.