ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus අත්වැල් බැඳගනියි

    March, 24, 2026

    එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus (CIC) විසින් පසුගියදා සුවිශේෂී හවුල්කාරීත්වක් ඇති කර ගන්නා ලදී. ඒ තුලින් ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත බ්‍රිතාන්‍ය  උපාධි සහ අධ්‍යාපන සුදුසුකම් මෙරටදීම සපුරා ගැනීමේ අවස්ථාව උදා වනු ඇත.

    අද වන විට එක්සත් රාජධානියේ හොඳම විශ්වවිද්‍යාල 30 අතරට එක්ව ඇති East Anglia විශ්වවිද්‍යාලය 2026 QS ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව විශිෂ්ටතම විශ්වවිද්‍යාල 400 අතරටද ඇතුළත්ව සිටියි.

    ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වසර 18ක් තිස්සේ විශ්වාසනීයත්වය තහවුරු කර ඇති Campus Direct හි නවතම හඳුන්වා දීම වන Colombo International Campus (CIC) ‘සිසුවාට මුල්තැන’ ලබා දීමේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යමින් දේශීය හැකියාවන් හා දක්ෂතාවන් ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමට අරමුණු කරගෙන සිටියි. ඒ ආකාරයේ ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපනයක් හා වෘත්තීය අවස්ථා සිසුන් වෙත උදා කර දීම සඳහා වන සිය කැපවීම නැවත නැවතත් තහවුරු කිරීමට UEA විශ්වවිද්‍යාලය සමඟ එක්ව කටයුතු කිරීම වෙනුවෙන් මෙම CIC හවුල්කාරීත්වයට එළඹ තිබේ.

    මෙම සුවිශේෂී හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් CIC හි අධ්‍යක්ෂ අම්රිත් වීරසේකර මහතා සඳහන් කර සිටියේ “UEA හි සතු ඉහළ ගෝලීය ශ්‍රේණිගත කිරීම් සහ  පර්යේෂණ ක්ෂේත්‍රයේ ඇති හැකියාවන් හේතුවෙන් මෙම සබඳතාව ඉතා වැදගත් වනවා. මේ තුලින් ගෝලීය මට්ටමේ අධ්‍යාපනයක් පහසුවෙන් හා දැරිය හැකි මිලකට ලබා දීම වෙනුවෙන් වන අපගේ කැපවීම මේ තුලින් මනාව පිළිබිඹු වනවා. ඒ හරහා ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තර පිළිගත් උපාධියක් ලබා ගැනීමට මෙන්ම වත්මන් තරගකාරී රැකියා වෙළෙඳපොල ජය ගැනීමට අවශ්‍ය ප්‍රායෝගික කුසලතා වර්ධනය කර ගැනීමටද අවස්ථාව හිමිවනවා.” යනුවෙනි.

    මෙම හවුල්කාරීත්වය හරහා ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට East Anglia විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර තත්වයේ විෂයය මාලාවන්ට අනුකූලව උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා හැදැරීමේ අවස්ථාව දැන් උදා වී තිබේ. මේ යටතේ ව්‍යාපාර කළමනාකරණය, තොරතුරු තාක්ෂණය, කෘතිම බුද්ධිය සහ සයිබර් ආරක්ෂණය වැනි ක්ෂේත්‍ර රැසක් ආවරණය වන අතර අධ්‍යාපන අවශ්‍යතාව මත විදේශ විශ්වවිද්‍යාල වෙත ගොස් (Transfer) අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවද ඔවුන්ට උදා කරගත හැකි වීම මෙහි විශේෂත්වයකි.

    CIC හි අධ්‍යක්ෂ සුරේෂ් ගුණසේකර මහතා මෙහිදී අදහස් දක්වමින් “මෙම හවුල්කාරීත්වය ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපනය නව මාවතකට යොමු කරන වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකියි. ජාත්‍යන්තර තත්වයේ පිළිගත්, පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම බි්‍රතාන්‍ය විශ්වවිද්‍යාලයක් සමඟ එක්වීමෙන් අපගේ සිසු සිසුවියන්ට අවශ්‍ය ජාත්‍යන්තර දැනුම සහ අත්දැකීම් ලබා දීමට අපට හැකි වී තිබෙනවා. ශ්‍රී ලාංකේය සිසුන්ට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ගුණාත්මක අධ්‍යාපනයක් පහසු හා දැරිය හැකි මිලකට ලබා දීම අපගේ මූලික අරමුණයි.” යනුවෙන් පවසා සිටින ලදී.

    එක්සත් රාජධානියේ (UK) නොරිච් (Norwich) හි පිහිටි East Anglia විශ්වවිද්‍යාලය (UEA) යනු විශිෂ්ට ඉගැන්වීම් ක්‍රමවේද, නවෝත්පාදන සහ පර්යේෂණ සඳහා ලොව සුපතළ විශ්වවිද්‍යාලයකි. 2026 ශ්‍රේණිගත කිරීම්වලට අනුව එය එක්සත් රාජධානියේ 26 වන ස්ථානයේ (Complete University Guide 2026) සහ ලෝකයේ 156 වන ස්ථානයේ (Times Higher Education World University Rankings 2026) පසුවේ. එමෙන්ම පර්යේෂණවල ගුණාත්මකභාවය අතින් බ්‍රිතාන්‍යයේ හොඳම විශ්වවිද්‍යාල 25 අතරට ඇතුළත් වන මෙය, තිරසාරභාවය සහ සමානත්මතාවය සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර මට්ටමේ ඉහළ පිළිගැනීමක් පවත්වාගෙන යයි.

    එක්සත් රාජධානියේ සිසු සිසුවියන්ට ලැබෙන උසස් අධ්‍යාපන ප්‍රමිතීන් සහ ජාත්‍යන්තරව පිළිගත් උපාධි ඒ ආකාරයෙන්ම ලබා ගැනීමේ අවස්ථාව මෙම හවුල්කාරීත්වය හරහා ශ්‍රී ලාංකික සිසුන්ට හිමි වේ. තවද මේ හේතුවෙන් විදේශගතව අධ්‍යාපනය ලැබීම සඳහා දැරිය යුතු අධික වියදම ඉතිරි කරගැනීමටත් ශ්‍රී ලංකාවේ CIC ආයතනය හරහා  උපාධිය හැදැරීම තුලින් ඉතා අවම මුදලකට ජාත්‍යන්තර තත්වයේ පිළිගත් උපාධියක් සඳහා අවස්ථාව ලබා ගැනීමටත් ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට අවස්ථාව හිමි වේ.

    මෙම අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ East Anglia විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උප කුලපති මහාචාර්ය Steven McGuire මහතා “ශ්‍රී ලංකාවේ CIC සමඟ එක්ව East Anglia හි අධ්‍යාපන විශිෂ්ටත්වය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටුයි. ජාත්‍යන්තර තත්වයේ ගුණාත්මක හා පර්යේෂණ පාදක කරගත් අධ්‍යාපනයක් ලබා ගැනීමේ අවස්ථාව ලොව පුරා සිසු සිසුවියන්ට ලබා දීමට අපි අරමුණු කොට ගෙන සිටිනවා. නවීන ඉගැන්වීමේ ක්‍රම සහ කාලීන විෂයය මාලාවන් හරහා ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට රැකියා වෙළෙඳපොල ජය ගැනීමට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුවද මේ හරහා ලබා දීමට අපි බලාපොරොත්තු වනවා.” යනුවෙන් පැවසීය.

    ස්මාර්ට් පන්ති කාමර, උසස් තොරතුරු තාක්ෂණ පහසුකම් සහ විද්‍යාගාර මෙන්ම ව්‍යායාම් මධ්‍යස්ථානයකින්ද සුසැදි Colombo International Campus, නවීන අධ්‍යාපන දැක්මකට අනුව සකස් කර ඇත්තේ අධ්‍යාපනය සඳහාම උචිත පරිසරයක් සිසු සිසුවියන් වෙත ලබා දෙමිනි. East Anglia විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් රටාවට CIC හි යටිතල පහසුකම් මනාව ගැලපෙන අතර ඒ තුලින් අනාගතයට ගැලපෙන පරිපූර්ණ අධ්‍යාපන අත්දැකීමක් ලබා ගැනීමට ද සිසුන්ට අවස්ථාව උදා වේ.

    ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරන මෙම අධ්‍යාපන ආයතන අතර වන හවුල්කාරීත්වය තුලින් ජාත්‍යන්තර පිළිගැනීම සමඟින් දේශීයව අධ්‍යාපනය ලැබීමේ පහසුව හේතුවෙන් විදේශ ගත නොවී මෙරටදීම වෘත්තීය ජීවිතයක් ගොඩනගා ගැනීමට හැකියාව උදා වේ. 2027 ජනවාරි මාසයේදී ආරම්භ වීමට නියමිත මෙහි පළමු කණ්ඩායම සඳහා සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භ කොට ඇත.